ජගත් ක්‍රිකට් සමුළුවේ තීන්දුව අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේ තීන්දුව අද ප්‍රකාශ වෙයි. මේ තීරණය අනුව හෙට ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට සම්බන්ධවීමේ අවස්ථා තීරණය වනු ඇත.
නිමාවට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සාන්ත ලුසීයා දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සිදු කළ පැය දෙකක තරග වර්ජනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළ අතර ඊයේ දිනයේ තීන්දුව ප්‍රකාශ කරන බව පැවැසූවද එය අද දිනය දක්වා කල් ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවැසීය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් කරුණු විමසා ඇති අතර එම කරුණු සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය ප්‍රකාශ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පත්කළ කමිටුව නිදහසට කරුණු විමසා තිබේ.
බටහිර ඉන්දීය කොදෙව් පිල සමග සාන්ත ලුසියා හී පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර චන්දිමාල් පන්දුව පළුඳු කළ බවට තරග තීරක ජවගල් ශ්‍රී නාත් චෝදනා නැගූ අතර ඒ හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම වර්ජනය කළේය. එම සිදුවීමෙන් ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහිවූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනුකර තිබිණි. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා, පුහුණුකරු සහ කළමනාකරු එම චෝදනාවට වරද පිළිගෙන තිබෙන හෙයින් ඔවුන්ට ලබාදෙන තීන්දුව කුමක්ද යන්න බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවේ.
සාන්ත ලුසියා තරගයේදී පන්දුව පළුදු කළ බවට දිනේෂ් චන්දිමාල් වරදකරු කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම කමිටු සභාපති, නීතිඥ මයිකල් බිලෝෆ් මහතා විසින්ම අද තීන්දුව ප්‍රකාශ කිරීමට සූදානමින් සිටීම විශේෂත්වයකි. දෙවැනි ටෙස්ට් තරගයේදී නීතීඥ බිලෝෆ් මහතා දුන් තීන්දුවෙන් චන්දිමාල්ට ටෙස්ට් තරගයක් තහනම් වූ අතර තරග ගාස්තුවෙන් සියයට සියයක දඩයක් ද නියම කෙරුණි.
ශ්‍රී ලංකා නායක, පුහුණුකරු සහ කළමනාකරු යන තිදෙනා වරදකරුවන් බවට නම් කළහොත් ඔවුන්ට දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරග දෙකට සහභාගීවීමේ අවස්ථා අහිමි වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ හිටපු සාමාජික මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවැසූවේ ටොෆියක් හෝ චුයින්ගම් සැපීම ක්‍රිකට් තරගයක් අතරතුර කළ නොහැකි බවට නීතියක් පනවා නොමැති හෙයින් මේ සම්බන්ධ දඩුවමක් පැනවීම සාධාරණ නොවන බවයි. වරදක් සිදුවූවා යැයි සඳහන් කරන දිනයේම එම වරද පෙන්වා දිය යුතු බවත්, පසු දිනෙක චෝදනා එල්ල කිරීම හා ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීම අසාධාරණ බවද මහාචාර්යවරයා පැවැසීය.
යම් හෙයකින් චන්දිමාල්ට මේ තරගාවලිය අහිමි වුවහොත් සුරංග ලක්මාල් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ නායකත්වය දරනු ඇත. චන්දිමාල් තහනමකට ලක්වූ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග තෙවැනි දිවා රාත්‍රී ටෙස්ට් තරගයේදී ලක්මාල් නායකයා ලෙස කටයුතු කර ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්කර දුන්නේය.
0 Comments