දෙරට අතර අවබෝධතා ගිවිසුම් 3කට ද අස්සන්
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යෑමට පාකිස්ථාන අග්රාමාත්ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා සහතික වෙයි.
පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ පාකිස්ථාන අග්රාමාත්යවරයා අතර නිල හමුව පසුගියදා (23) පස්වරුවේ ඉස්ලාම්බාද් නුවර අග්රාමාත්ය නිල නිවසේදී සිදුවිය.
අග්රාමාත්ය නිල නිවස වෙත පැමිණි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පාකිස්ථාන අග්රාමාත්යවරයා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
නායකයින් අතර සුහද කතා බහෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
පාකිස්ථාන ජන රජ දින සැමරුම් උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවන ලෙස කරන ලද නිල ඇරයුම පිළිගෙන එම අවස්ථාවට එක්වීම පිළිබඳ මෙහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා වෙත හෘදයාංගම ස්තූතිය පුද කළ පාකිස්ථාන අග්රාමාත්යවරයා ජනාධිපතිතුමාගේ මෙම සහභාගිත්වය තම රටට මහත් ගෞරවයක් බව ද කියා සිටියේය.
මෑත ඉතිහාසයේ ශ්රී ලංකා රාජ්ය නායකයෙකු වෙත කරන ලද පළමු නිල ඇරයුම සනිටුහන් කරමින් තමා වෙත මෙම ආරාධනාව සිදුකිරීම පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී පාකිස්ථාන රජය වෙත සිය විශේෂ ස්තුතිය පිරිනැමීය.
දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම ආරක්ෂක පුහුණු වැඩසටහන් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයෝ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
දෙරට අතර ආර්ථික සහයෝගීතාවයේදී ඩොලර් බිලියන 01 වෙළෙඳ ඉලක්කයක් සපුරා ගැනීම පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරිණි.
එමෙන්ම තෙල් සහ ස්වභාවික වායු ක්ෂේත්රයේ සිය අත්දැකීම් ශ්රී ලංකාවට ලබාදීමට ඕනෑම මොහොතක සූදානම් බව මෙහිදී පාකිස්ථාන අග්රාමාත්යවරයා සඳහන් කළ අතර එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි බලශක්ති අර්බුදයත් සමග ශ්රී ලංකාව ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බවයි.
එමෙන්ම දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය තුළ පසුගිය වසර 50 කට වැඩි කාලයක සිට පාකිස්ථානය ශ්රී ලංකාවට ලබාදෙන සහය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
පසුගියදා පැණ නැගුණු පොහොර ගැටලුවේදී තමා ලබාදුන් දුරකථන ඇමතුම අනුව පාකිස්ථාන අග්රාමාත්යවරයා දැක්වූ ක්ෂණික ප්රතිචාරය පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.
එමෙන්ම ආපදා අවස්ථාවලදී පාකිස්ථානය ශ්රී ලංකාවට ලබාදෙන නිරන්තර සහය අගය කළ ජනාධිපතිතුමා පසුගිය යුද සමයේදී ද ආරක්ෂක අංශ පුහුණුව තුළින් ලබාදුන් සහය අගය කළේය.
0 Comments