Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දු චීන ජපාන ආර්ථික තරගය අපේ ආර්ථික වාසියට යොදාගත යුතුයි

 

බණ්ඩාරනායක අන්තර්ජාතික අධ්‍යයන මධ්‍යස්ථානයේ සහතික ප්‍රදානයේදී අගමැති කියයි

ඉන්දියාව, චීනය, ජපානය අතර පවතින ආර්ථික තරගකාරිත්වය අපේ රටේ ආර්ථික වාසිය සඳහා යොදා ගත යුතු බවත් එය සිදුවිය යුත්තේ කිසිම රටක් අතර භේදයක් ඇති නොවන අයුරින් මිත්‍රශීලී සබඳතා තහවුරු කර ගනිමින් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම රටවල් තුන සමඟ ඉතා හොඳ ශක්තිමත් මිත්‍රශීලී සබඳතාවක් ශ්‍රී ලංකාව පවත්වාගෙන යන බව පැවසූ අගමැතිවරයා ශ්‍රී ලංකාව තරම් එවැනි සබඳතාවක් පවත්නා වෙනත් රටක් දැක නැති බවත් අපි සැමවිටම ස්වාධීනව ක්‍රියා කළයුතු බවත් අවධාරණය කළේය.

රටකට එරෙහිව තව රටක් මෙහෙයවීම කිසිවිටකවත් නොකළ යුතු බවත් ප්‍රකාශ කළ අගමැතිවරයා එම රටවල් සමඟ එකහා සමාන සබඳතා දිගටම පවත්වාගෙන යායුතු බවද පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ සහතිකපත් ප්‍රදානෝත්සවයේදීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය 22 දා පැවැත්විණි. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, ඩිප්ලෝමා පාඨමාලාව, අසස් ඩිප්ලෝමා පාඨමාලාව සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ විද්‍යාර්ථීන් දෙසිය දෙනෙක් එහිදී විශිෂ්ට කුසලතා සහ කුසලතා සහතික පත්‍ර ලැබූහ.

සාගර සම්පත් ශ්‍රී ලංකාවට වැදගත්වන ආකාරය සහ එහි අනාගතය හා අභියෝග අලලා ලියවුණු පොත් පිංචක්ද මෙහිදී එළි දැක්විණි. එහි මුල්පිටපත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත පිළිගන්වන ලදී.

ජාත්‍යන්තර සබඳතා ආර්ථිකය දේශපාලනය පිළිබඳ හරවත් කාරණ රැසක් පෙන්වාදෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කරනු ලබන ප්‍රධාන සාධක දෙකක් භූගෝලීය පිහිටීම සහ කලාපයේ සෙසු රටවල් සමඟ පවතින දේශපාලන සබඳතා එම සාධකයි.

ඉන්දියාව, චීනය, ජපානය රටවල් එකිනෙකා සමඟ විශාල ආර්ථික තරගයක යෙදී සිටිනවා. රටවල් අතර තිබෙන විරුද්ධකාරීත්වයන්ට කිසිසේත් අප රට මැදිහත් නොවිය යුතුයි. එම සබඳතා ගොඩනඟා ගනිද්දී ඒ ඒ රටවල් අතර පවතින තරගය අවබෝධ කොට ගෙන ඒ ගැටුමට මැදිහත් නොවීමටත් වගබලා ගත යුතුයි.

චීනයේ එක් තීරයක් - එක් මාවතක් සංකල්පය හා ක්‍රියාමාර්ගය හමුවේ අපි එහි හවුල්කරුවෙකු බවට පත් වුණා. එවකට ජනාධිපති රාජපක්ෂ මහතා එයට සම්බන්ධ වීමට එකඟතාව පළ කර තිබුණා. ඉන් අනතුරුව වර්තමාන ජනාධිපතිතුමන්ද එය යළි තහවුරු කළා. එක් තීරයක් - එක් මාවතක් නැමැති වැඩසටහන කුමක්ද? අපි අපේ රට චීනයට විකුණලා ද? අපි ඒ රටවල් ත්‍රිත්වයේ උගුලකට හසු වෙලාද? මම ඔබට ඒ ගැන කියන්නම්.

චීනයේ එක් මාවතක් - එක් තීරයක් ක්‍රියාමාර්ගය සිය සංවර්ධන කටයුතු වෙනුවෙන් චීනය වෙත ආධාර ලබා ගැනීමේ මාර්ගයක්. එය වර්තමාන ජනාධිපතිතුමා අතින් ක්‍රියාත්මක වන චීනයේ ආර්ථිකය ආසියාවේ බලවත් ආර්ථිකය බවට පත් කිරීමේ වැඩපිළිවෙළක ආරම්භයයි. මම නිරිතදිග ආසියාව හා යුරෝපය සංසන්දනය කරන්නේ නැහැ. ඇත්තටම චීනය ප්‍රයෝජනයට ගත්තේ රික්තකයක්ව තිබූ ඉඩයි. වෙන කාටත් මෙහි වුවමනාවක් තිබුණේ නැහැ. මෙම සංවර්ධන කාර්යය දැවැන්ත ව්‍යාපෘතියක් වෙනවා. චීන රජය මෙම ක්‍රියාමාර්ගයේ හැරවුම් ලක්ෂයයි. එය වෙන කිසිම රටකින් බලාපොරොත්තු විය නොහැකියි. මෙම ක්‍රියාමාර්ගය ඔවුන්ගේ පද්ධතියේම කොටසක්. සිය නායකත්වය මත අනෙක් රටවලට එහි හවුල්කාරිත්වය ලබාගැනීමට හැකියාව තිබෙනවා. අපේ කලාපයේ තිබෙන රටවලට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි වී තිබෙනවා.

අපේ රට මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? හම්බන්තොට චීනයේ නාවික මූලස්ථානය බවට පත් කිරීමට අපි ඉඩ දුන් බව බො‍හෝ දෙනෙක් චෝදනා කරනවා. නැහැ ඇත්තටම සිදු වූයේ එය නොවෙයි. ඇත්තම අපි කළේ වරාය අධිකාරියත්, චීන සමාගම් සමගමත් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ගිවිසුමකට එළැඹීමයි. අපි ඩොලර් බිලියන 1.4ක් පමණ වියදම් කර තිබෙනවා. එය ගෙවීමට අපට නොහැකියි. ඒ නිසා හම්බන්තොට වරාය වාණිජ පහසුකම් සැලසීම වෙනුවෙන් යොදා ගැනීම සඳහා සංවර්ධනය කළ යුතුයි. ඒ සමගම චීනය කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමේ කටයුතු ද එහි සිදු වෙනවා.

ආරක්ෂාව පිළිබඳව ගත් කල හම්බන්තොට වරාය ආශ්‍රිත ආරක්ෂක සේවා මෙහෙය වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනුයි. අපිට එහි ආරක්ෂක කටයුතු මෙහෙය වීමට තව මුදල් වැය කොට ස්ථම්භයක් ඉදිකිරීමටත් සිදු වෙනවා. ගාල්ල හා තංගල්ල ප්‍රදේශයේ ස්ථම්භය අපි හම්බන්තොටට ගෙන එනවා. චීන හමුදා හම්බන්තොට එනවාදැයි ජනතාව විමසනවා. එතැන තිබෙන්නේ එක් හමුදා ඒකකයක් පමණයි. අපි ඒ කාර්යයන් ඉටු කරනවා නම් ඔවුන් කැමැත්තෙන් ආරක්ෂක කටයුතුවලින් ඉවත් වේවි. එහෙත් අපට එය කළ හැකිද? එසේ නම් ඒ ගැන කතා කරන්නේ ඇයි?

අනෙක් කාරණය නම් මත්තල ගුවන් තොටුපොළ ක්‍රියාත්මක කර ගෙන යාමට ඉන්දියානු සමාගමක් සමඟ සාකච්ඡා කරන්නේ මන්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ සඳහා සරල පිළිතුර නම් අපට තනිවම ගුවන් තොටුපොළට යානා ගෙන්වා ගැනීමට තිබෙන අපහසුතාවයි. එයට විසඳුමක් ලෙස ඉන්දියාව සතුව වැඩපිළිවෙළක් තිබුණා. ඒ අනුව එම වැඩපිළිවෙළට අප එකඟ වුණා. මේ හරහා අපට ගුවන් යානා ගෙන්වා ගෙන අපේ ගුවන් තොටුපොළ කාර්යබහුල ගුවන් තොටු‍පොළක් බවට පත් කර දිගු කාලීනව එය ලාභ ලබන තත්ත්වයට ගෙන යා හැකියි. එම ගුවන් තොටුපොළේ ආරක්ෂාව භාරව තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවටයි.

අපි අද සිදු කරමින් සිටින්නේ හම්බන්තොට වරායට, ගුවන් තොටුපොළ සංවර්ධනයට යටිතල පහසුකම් සැපයීමයි. අපි අපේ අපක්ෂපාතීත්වය සහ මිත්‍ර සබඳතා පවත්වා ගෙන යන තුරු බිය වීමට අවශ්‍යතාවක් නැහැ. අපි නිරතුරුව කියන්නේ අපේ සියලුම රජයන් අනුගමනය කරන්නේ ආර්ථික මිත්‍රශීලී විදෙස් ප්‍රතිපත්තියක් බවයි. නමුත් අපි අපේ ආරක්ෂාව පිළිබඳව සැලකීමේ දී ඉන්දියාව සමඟ විශේෂ සබඳතා ගොඩනගා ගෙන තිබෙනවා. ඒ අනුව අපි ඉන්දියාවේ ආරක්ෂාවට හෝ ඔවුන් අපේ රටේ ආරක්ෂාවට හෝ තර්ජනයක් වන සබඳතා ගොඩනගා ගැනීමෙන් වැළකී සිටිනවා. එම රාමුව තුළ අපේ ගමන සාර්ථකයි. ඉන්දියාවත්, ජපානයත් අපේ රටේ වරායන් සංවර්ධනය කිරීමට ඉදිරිපත් වෙනවා. මක්නිසාද , අනාගතයේදී ඉතා වැදගත් වන්නේ වරායන් වීමයි. මේ හරහා ඉන්දියානු සාගරයේ නාවික සංක්‍රාන්තික කේන්ද්‍රස්ථානය බවට පත් වීමට අපිට හැකි නම් එය අපේ රටේ දියුණුවට මඟපෑදීමක් බව කිව යුතුයි. අපේ සංවර්ධන කාර්යය සඳහා ඉන්දියාව, චීනය හා ජපානය යන රටවල හවුල්කාරිත්වය අපට ලැබෙනවා.

දෙවැන්න වෙළෙඳාමයි. කලාපය අතින් ගත් කල මේ වන විට ප්‍රධාන ගිවිසුම් දෙකක් ඇති වෙමින් තිබෙනවා. පළමු වැන්න නම් කලාපයේ ආර්ථික විස්තීරණ හවුල්කාරිත්වයයි. එය ඉන්දියාවේ සිට ජපානය දක්වා විහිදෙනවා. එය මේ වන විට අවසන් අදියරේ සාකච්ඡා වෙමින් තිබෙනවා. එම හවුල්කාරිත්වය ඉදිරි වසර 5, 10 හෝ 15 තුළ ක්‍රියාත්මක වනු ඇති. එම ගිවිසුම ක්‍රියාත්මක වූ වහා අපි එහි හවුල්කාරිත්වය ගන්නවා. එමගින් අපි වෙළෙඳ සංගමයට හවුල් වෙනවා. මේ හරහා ඉදිරි වසර 10 අපගේ දේශීය සමාගම් සහ ව්‍යාපාරිකයන්ට තරගකාරී මඟට අවතීර්ණය වීම සඳහා හොඳටම ප්‍රමාණවත් බව කිව යුතුයි.

මීළඟට වැදගත් වන්නේ ට්‍රාන්ස් පැසිපික් හවුල්කාරිත්වය. එයට ඇමරිකා එක්සත් ජනපදය හවුල් වන්නේ නැහැ. එයින් කියවෙන්නේ ආසියාවේ සහ පැසිපික් කලාපයේ තමන් පිළිබඳ විශ්වාසයක් ඇති රටවලට ඇමරිකාවේ සහාය නැතිව නැගී සිටීමේ අවස්ථාව ඇති බවයි. එයට ඉන්දියාව හෝ චීනයත් සම්බන්ධ වන්නේතේ නැහැ. එය ආසියාවේ ශක්තිය කියා පෑමක්. මේ හරහා අප රට කැනඩාව, මෙක්සිකෝව වැනි උතුරු ඇමෙරිකානු රටවල් සහ චිලී රාජ්‍ය වෙතත් පිවිසීමේ අවස්ථාව උදා කරගන්නවා. ඒ හරහා විශාල වෙළෙඳ පොළක් අප වෙනුවෙන් විවෘත වෙනවා.

අවසාන කාරණය නම් ඉන්දියානු සාගරයේ ක්‍රියාත්මක වන හමුදා බලයයි. එක යුගයක එහි ඉන්දියාව බලවත්ව සිටියා. ඉන් අනතුරුව ඇමරිකාව, අද එහි බලාත්මක වී සිටින්නේ චීනයයි. චීනයේ එක් තීරයක්. එක් මාවතක් ක්‍රියාමාර්ගය හරහා ඔවුන් අනෙක් රටවල අවධානය දිනා ගැනීමට සමත් වී සිටිනවා. චීනය එම රටවලට තර්ජනයක් වීමට යනවා. ජපානය එහි බලය කාලයක් අල්ලාගෙන සිටියත් එය වැඩි කාලයක් පවත්වා ගැනීමට ජපාන රාජකීය හමුදාවට බැරිවුණා. 1942 දී ලෝක යුද්ධයේ මැද භාගය වන විට ඔවුන්ට එය අත්හැරීමට සිදුවුණා. චීනයේ නාවික ශක්තිය මෑත කාලීනව ඇති වූවක්. මලක්කා මුහුද පසුකර ඉන්දියාව වෙත ප්‍රවේශ වීම ඔවුන්ට අසීරු කටයුත්තක්. චීනයට අඩු තරමේ අවුරුදු 20 – 30 ක හෝ නාවික හමුදා ඉතිහාසයක් තිබිය යුතුයි. චීනය සතුව ප්‍රහාරක යානා තිබුණත් එය පහසු කාරණයක් නොවෙයි. චීනය ඉන්දියානු සාගරයේ අධිපතීත්වය පිළිබඳ කරදර වෙනවා.

අපිට පුළුවන් නම් ඉන්දියානු සාගරයේ නිදහස් නාවික ගමනාගමන ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න බරපතළ අර්බුදයක් එයින් සමනය කිරීමට ඉඩ ලැබෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුවත් එම අවස්ථාව ලබා ගැනීමට උනන්දු වෙනවා. එමගින් සෑම පාර්ශ්වයකටම සාකච්ඡා කිරීමේ හැකියාව ලැබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව මැදිහත් වීමෙන් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට අපට හැකිවෙනවා.

සාර්ක් සංවිධානය ක්‍රියාත්මක වෙන්නේ ඉතා පහළ මට්ටමකින්. ශ්‍රී ලංකාව වැනි රටවල් කලාපීය අනෙක් රටවල් සමඟ සාකච්ඡා කිරීමේ මාර්ගයක් ලෙස සාර්ක් වැනි එකමුතුවක් උපයෝගී කොටගත යුතුයි. කෙසේ හෝ ඉන්දියාවත්, පකිස්ථානයත් සිය ද්විපාර්ශ්වික ගැටුම් නිමා කිරීමට කටයුතු කළ යුතුයි. එය අපට කළ නොහැකියි. ඒ ආකාරයට කෙසේ හෝ එකමුතුකම පවත්වා ගත යුතුයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයද වැදගත් වෙමින් පවතිනවා. මේ හරහා බංගලාදේශය, තායිලන්තය සහ මැලේසියාව නැගී ඒමත් සිදු වෙනවා. මේ ආකාරයට බෙංගාල බොක්ක ආශ්‍රිත කාලපයද වැදගත් වෙනවා.

අපි බොහොමයක් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් සිටිනවා. අපේ සාම හමුදාවත් ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාව, යුරෝපය සමඟ පවා අපේ සබඳතා වර්ධනය වෙමින් පවතිනවා. ආසියාවේ ඉතා වැදගත් කලාපයේ කේන්ද්‍රගතව අපේ රට පිහිටා තිබීම නිසා මෙම පසුබිම පිළිබඳ අවබෝධයෙන් යුතුව අපගේ විදේශ ප්‍රතිපත්තිය වගේම වෙළෙඳ ප්‍රතිපත්තියත් සකසා ගත යුතුයි.

අපි ඉන්දියාව, චීනය හා ජපානය සමඟ යහපත් සබඳතා ගොඩනඟා ගත්තද සියලුම වෙළෙඳ ශේෂයන් එම රටවලට වාසි සහගත අයුරින් පමණයි සිදුවෙන්නේ. අපි තව තවත් ආයෝජන ගෙන්වා ගැනීමටත්, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත් , අපනයන වැඩි වැඩියෙන් සිදු කිරීමටත් වග බලා ගත යුතුයි. ඒ අනුව මේ වන විටත් ඔබ ආසියාව වෙත අවධානය යොමු කර නොමැතිනම් වහ වහා ආසියාව වෙත නැඹුරු වී අපගේ අපනයන වැඩි කිරීමට කටයුතු අවධානය යොමු කරන ලෙස මම ඔබට පවසනවා. අප රජය දැනටමත් චීනය, ඉන්දියාව, හා ජපානය සමඟ එළඹ ඇති ගිවිසුම්වලින් හා ඉදිරියට අවතීර්ණ වන කලාපීය හවුල්කාරිත්වයන් හරහා ඉදිරියේදී ඉන්දීයා සාගරයේ ඇතිවන දිදුලන සංවර්ධනයේ හවුල්කරුවෙකු වන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති.

චීනය ලෝකයේ කර්මාන්තශාලාව බවට පත්ව තිබෙනවා. ඉන්දියාව මෘදුකාංග හා සේවා සපයන ස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඉන්දියාවේ අගමැති මහාරාෂ්ට ගුජරාට් ප්‍රාන්තවලින් මෙහි ආරම්භක පදනම දැමීම ඉන්දියාව, චීනය, ජපානය සමඟ අපි ඉතා හොඳ මිත්‍රශීලී සබඳතාවක් පවත්වනවා. ඉන්දියාව, චීනය ජපානය රටවලට ගැති නොවී කිසිම පැත්තක් නොපෙනෙන මිත්‍රත්වය පවත්වා‍ෙගන යාමෙන් අප රටට ගැටලු ඇති නොවෙයි.

අන්තර්ජාතික සබඳතාවලට වඩා අපේ අවධානය යොමු වී තිබුණේ යුද්ධය නිමාකිරීම සහ මානව හිමිකම්වලටයි. ලෝක බලය ආසියාව වෙත යොමුවීම පවා අප රටට අමතක වී තිබුණා. සෙසු රටවල් වෙනත් දිශා සඳහා ගමන් කරමින් සිටිද්දී අපේ මාතෘකාව යුද්ධය හා මානව හිමිකම් දෙස යොමු වුණා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය.

අප රට විශ්වවිද්‍යාලවල ජාත්‍යන්තර සබඳතා සඳහා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ. මෙම ක්ෂේත්‍රයට අවධානය යොමු කිරීම අවශ්‍ය කාරණාවක්. එසේ අවධානය යොමු කරන්නට හොඳ අවස්ථා ඇත. තරුණ තරුනයන්ට විශේෂිතවූ අන්තර්කාලීන යුක්තිය පිළිබඳ පාඨමාලාවක් මෙහි ආරම්භ වෙනවා. ව්‍යවස්ථාවට අදාළ සම්මන්ත්‍රණ යථා කාලයේදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වැනි රටකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අධ්‍යාපන විෂයක් පමණක් නොව ඊටත් වඩා එහා ගොස් රටේ සංවර්ධනයට දායකත්වයක් දිය හැකිය. එම කර්තව්‍යයට මෙම ජාත්‍යන්ත අධ්‍යයන ආයතනය සහාය දක්වනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සතුටට කරුණක්.

බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ආචාර්ය හරීන්ද්‍ර විදානගේ මහතා ස්තුති කථාව පවත්වමින් ආයතන පිළිබඳව හැඳින්වීමක් කළේය. හිටපු නීතිපතිවරයකු වන ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළුව විවිධ ක්ෂේත්‍රයන්හි විද්වත්හු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();