Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“ශ්‍රී ලාංකිකයන් අවධානමේ” – කථානායක කියයි.

Karu_Jayasuriya

සදාචාරය පිරිහීම වදවී යන ජාතියක ලක්ෂණයක් බවත්  ශ්‍රී ලාංකිකයන්  එම  අවධානම අභියස සිටින බවත්  කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කර සිටී. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායකවරයා,

 “ඉතිහාසය දිහා බලනවිට 1863 ජූලි 13 ආරම්භ කර අද පැවැත්වෙන 71 වැනි උත්සවය දක්වා ඉතා සාර්ථක උපසම්පදනා උත්සව අප නිකායෙන් පැවැත්වුවා. එය අපට සතුටුවිය හැකි කරුණක්. එදා සිට අද දක්වා ධර්මධර, විනයධර, බුද්ධිමත් මහා නාහිමිපාණන් වහන්සේ‍ලාගේ නායකත්වයෙන් මහා තෙරුන් වහන්සේලා නිකායට ගෞරවයක් ලබා දුන්නා. ශාසනය ශෝභාමත් කළා. නිකායේ දියුණුවට, අභිවෘද්ධියට මේ කරුණු හේතු වුණා. 71 වැනි උපසම්පදාව නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වීමට ගෞරවනීය මහා නාහිමිපාණන්වහන්සේ ප්‍රමුඛ සංඝ සභාවේ තීරණයට මා ගරු කරනවා. නැගෙනහිර පවත්වන 1 වැනි අවස්ථාව මෙයයි. මේ ප්‍රදේශයේ පුරාවස්තු ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්. මේ ප්‍රදේශයේ නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වන භික්ෂූන්වහන්සේලා ඇගයීමක් මේ තුලින් සිදුවෙනවා. ත්‍රස්තවාදීන් විසින් ආගමික සිද්ධස්ථාන වලට හානි කර තිබෙනවා. මේවා රැක ගැනීම අපගේ යුතුකමක්. අප විසින් ජනතා සිතුම් පැතුම් යහමගට ගෙන ඒමට ක්‍රියා කිරීමේ කාලය දැන් පැමිණ ඇති බව මගේ හැඟීමයි. සමාජයේ සාරධර්ම විශාල ලෙස පිරිහෙමින් පවතිනවා. මේවා දකින විට අපට ඇතිවන්නේ මහා වේදනාවක්. එදා අප දුටු  මිනිස්කම අගයන සමාජය වෙනුවට මුදලට යටවෙන ආත්මාර්ථකාමී සමාජයක් ඇති වෙමින් පවතිනවා.  මේ පිරිහීමේ ලකුණු. මෙහිදී මා කීපවිටක්ම සඳහන් කළ නමුත් අවාසනාවට  මාධ්‍යයේ හා ජනතාවගේ අවධානය මෙම බැරෑරුම් කරුණ කෙරෙහි අවධානය යොමු වී නැහැ. ජාතීන් තුනක් ලෝකයෙන් තුරන් වන බවට මීට දශක හතරකට පමණ පෙර ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් මගින් කළ පරීක්ෂණයකදී හෙළි වී තිබෙනවා. එනම් ඇස්කිමෝවරු,ඇමෙරිකාවේ රතු ඉන්දියන්වරු හා  ලංකාවේ සිංහලයින් මේ පණිවිඩය තවමත් රටට ගිහින් නැහැ.”

 “මෑත යුගයේදී අපි දකින සිද්ධීන් ගැන හිතන විට සාමාන්‍ය පුද්ගලයෙකුට පවා මෙහි බැරෑරුම්කම වැටහෙනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින් මෙන්ම බුද්ධිමත් ප්‍රජාව වහා ක්‍රියාත්මක නොවුනහොත් ප්‍රතිඵල භයංකාර වෙන්නට පුලුවන්.  සහෝදරයින් එක්ව සිය දෙමාපියන් මරන, කුඩා දරුවන් සිය පවුලේ සාමාජිකයන් විසින්ම දූෂණය වන, දෙමාපියන්  දම්වැල් දමා බැඳ දමන තම කුඩා දරුවන්ට මත්පැන්  පොවන සමාජයක්, පටු ජාති, ආගම්වාදී හැඟීම් ඇති කරන එකිනෙකා විනාශ කර ගන්නා ජාතියකට හෝ දේශයකට අනාගතයක් ගැන හිතන්න බැහැ. මෑතකදී රටේ සමහර  ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී කලබල නිසා රටේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වුනා. එම කලු ලප මකා ගැනීමට බොහෝ කල් ගත වේවි. රටේ වාසනාවට මේ අවස්ථාවේ අති ගෞරවනීය මහා නායකහිමිපාණන් ඇතුළු මහා සංඝ රත්නයත්, අන්‍ය ආගමික නායකවරුනුත් එක හඬින් කියා සිටියේ නැවතත් මේ රට විනාශ කිරීමට ඉඩ නොදිය යුතු බවයි. පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින් මේ මතයේ  දැඩිව සිටිය යුතුයි. මෙහි ප්‍රථම පියවර වශයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර කාරක සභාවක් ඇති කර ඉදිරියේදී මෙරටින් ජාති ආගම් බේද හා ගැටුම් සදහටම තුරන් කර ගතහොත් එය ඊළඟ පරපුරට අප විසින් දිය හැකි උතුම්ම දායාදය වෙනවා. අපේ පැතුම  මෙරට ලෝක බෞද්ධ උරුමයේ මුදුන්මල් කඩ කරන්න.”

 “කොතරම් ගැටළු තිබුණත් ලෝක බෞද්ධ නායකත්වය ලංකාව වෙත එමින් තිබෙනවා. (MODI)  පිරිසිදු නිර්මල බුදුදහම රැකීමේ විශාල වගකීම අපට පැවරී තිබෙනවා. එය රැක ගැනීමට විනයගරුක, නීතිගරුක සමාජයක් ඇති කළ යුතුයි. එවැනි සමාජයක් ඇති කිරීම රජයේ යුතුකමක්. අද පූර්ණ ස්වාධීන අධීකරණයක් මෙරට ස්ථාපිත වී තිබෙනවා.  පැවිදි සමාජයේ විනය ස්ථාපිත කිරීම පිණිස නිකාය කතිකාවන් බලගන්වන ලෙස අති ගෞරවනීය මහා නාහිමිපාණන් විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයකින් ඉල්ලා සිටිනවා. මෙය වැදගත් පියවරක් වශයෙන් මා දකිනවා. සිවුරේ මුවාවෙන් මුළු ශාසනයටම අපකීර්තියක් ගෙන එන සිද්ධීන් මෑතක සිට වැඩිවෙමින්  පවතිනවා. අද පළ වූ පුවත්පතකින්ද එවැනි සිද්ධියක් වාර්තා වී තිබෙනවා. තරුණ භික්ෂූන් වහන්සේලා පෙළපාලි යමින් රන්ඩු සරුවල් කරමින් සමහර අවස්ථාවලදී චීවරයට අගෞරවයක් ගෙන එන අවස්ථා දකින විට  අපට ඇතිවන්නේ මහත් වේදනාවක්. පසුගියදා දකුණේ විශ්ව විද්‍යාලයක ඇති වූ අශෝභන සිද්ධියක් ගැන අසා අප කම්පා වුණා. මේ ගැන උත්තරීතර සංඝ සමාජයේ ඇති වී තිබෙන කම්පාව අපි දන්නවා.”

 “නිකායක් වශයෙන් රාමඤ්ඤ නිකාය අද ශක්තිමත් වී තිබෙනවා.  අංග සම්පූර්ණ සංඝ මූලස්ථානයක් වගේම ශාසන උන්නතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් අද ඉටුවෙමින් පවතිනවා. අති ගෞරවනීය මහ නාහිමිපාණන්‍ වහන්සේ ඇතුළු කාරක සංඝ සභාවේ අනුශාසනා ලබමින් මහා ලේඛකාධිකාරී හිමිපාණන් ප්‍රමුඛ පැමිණි නිලධාරී මණ්ඩලයත්, නිකායාරක්ෂක සභාවත් මේ කටයුත්තේදී පෙරමුණ ගෙන තිබෙනවා. ඒ වාගේම අප නිකායට ආවේනික චාරිත්‍ර සිරිත් විරිත් අපි ඊළඟ පරපුරටත්, නූපන් පරපුරටත් රැක දිය යුතුයි. පාත්තරයත් ගොටු අත්තත් නිකායේ සංකේත. උපසම්පදා  ලබන සෑම හිමිනමකටම ගොටු අත්තක් ලබා දීමට කටයුතු කරනවා. අනාගතය ගැන සිතන විට රාමඤ්ඤ නිකාය විනය සංඝායනාවකට මුල් වීම ඉතාමත්ම යෝග්‍ය බව ගිහියෙකු වශයෙන් අප විශ්වාස කරනවා.  ශාසනය රැකගැනීම වෙනුවෙන් කෙරෙන විශාල යුග මෙහෙවරක් වශයෙන් එවැනි ක්‍රියාවන් ඉතිහාසගත වන බව අපගේ හැ‍ඟීමයි. නැගෙනහිරට පැමිණ අප ආපසු යන්නේ විශාල මානසික තෘප්තියකින්. අති දුෂ්කර කාර්යභාරයක් හරහා  මේ ප්‍රදේශයේ ශාසනික ප්‍රබෝධයක් මෙම උපසම්පදා උළෙල තුලින් ඇති වෙනවා. එහි ප්‍රතිඵල අනාගතයේදී දකින්නට ලැබේවි.” යැයි පැවසීය.

The post “ශ්‍රී ලාංකිකයන් අවධානමේ” – කථානායක කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();