Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දණහිසෙන් පහළ ආබාධිත ලෝක වාර්තාව චමින්ද සම්පත්ගෙන්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

මෙරට ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙවත් විශේෂ අවශ්‍යතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවූ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත විවෘත පිරිමි ශූරතාව යුද හමුදා පාබල ක්‍රීඩා සමාජය දිනාගත් අතර කාන්තා විවෘත ශූරතාව රිහැබ් ලංකා ක්‍රීඩා සමාජය දිනා ගත්තේය. විවෘත අංශයේ පිරිමි අනු ශූරතාව යුද හමුදා විජයබා ක්‍රීඩා සමාජය, කාන්තා විවෘත අනු ශූරතාව වෙල්ලස්ස ක්‍රීඩා සමාජය දිනා ගත්හ. කනිෂ්ඨ පිරිමි හා කාන්තා ශූරතා දෙකම වෙල්ලස්ස ක්‍රීඩා සමාජයට හිමි වූ අතර එහි අනු ශූරතා දෙක බස්නාහිර පළාත් විශේෂ අධ්‍යාපන ක්‍රීඩා සමාජයට හිමි විය.

මේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී යුද හමුදා ගජබා ක්‍රීඩා සමාජයේ චමින්ද සම්පත් හෙට්ටිආරච්චි දණහිසෙන් පහළ අබාධිත T 44 හෙල්ල විසි කිරීමේ ලෝක වාර්තාවක් පිහිටුවීම විශේෂත්වයකි. ඔහු මීටර් 62.11ක දුරක් හෙල්ල විසිකළ අතර චීනයේ ගාඕ මින්ජී, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී මීටර් 59. 82කින් පැරණි ලෝක වාර්තාව පිහිටුවා තිබිණි.

ලෝක වාර්තාව පිහිටවූ චමින්ද සම්පත් කුමාර 2008දී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විශ්‍රාම ගෙන ගජබා ක්‍රීඩා සමාජයට එක් වූවේය. ඔහු නිමාවට පත්වූ රියෝ පැරාලිම්පික් තරගාවලියට හා පසුගිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වූ අතර ඉදිරියේ පැවැත්වෙන ඉන්දුනීසියා ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී පෙරැළිකාර ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් සිටී.

පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය චමින්ද සම්පත්ට හිමිවූ අතර මීටර් 100 හා දුර පැනීමේ ඉසව්වලදී දක්ෂතා දැක්වූ රිහැබ් ලංකා ක්‍රීඩා සමාජයේ කුමුදු ප්‍රියංකා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මිනාය දිනා ගත්තාය. ඇය පැරා ජාතික මලල ක්‍රීඩා සංචිතයේ සිටින දක්ෂතම ක්‍රීඩාකාවක් වන අතර ඉදිරි ආසියානු පැරා ක්‍රීඩා උළෙලට එක්වීමේ අපේක්ෂාවෙන් පසුවන්නීය.

ලබන ඔක්තෝම්බර් 6වැනිදා සිට 13වැනිදා දක්වා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියා පැරා ක්‍රීඩා උළෙලට සහභාගීවන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු 800ක් පමණ සහභාගීවූ මේ ශූරතාවලිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ අවසන් තෝරා ගැනීම ලෙස නම් කෙරුණි.

රටපුරා ඇති පැරා ක්‍රීඩා සංගම්වලින් මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කොට තිබූ අතර ජවන හා පිටිය මලල ක්‍රීඩා ඉසව් 180ක් සංවිධානය කෙරුණි. මේ සියලු ඉසව් ජාත්‍යන්තර ප්‍රමීතීන් අනුව පැවැත්වුණි.

මෙරට පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ කැපී පෙණෙන දක්ෂතා දක්වා ඇති අතර වසර 2012දී ලන්ඩන් හී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රදීප් සංජය මීටර් 400 තරගයේදී ලෝකඩ පදක්කමක් හා වසර 2016දී රියෝ හී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ. ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය පැවැත්වුණි.

 

ඡායාරූප
රංජිත් අසංක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();