Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආර්ජන්ටිනා යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 4ක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා 5කින් දැනටමත් 11ක් සුදුසුයි

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක් සුදුසුකම් ලබයි. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා ආසියාවේ සුදුස්සන් තෝරා ගැනීමට තායිලන්තයේ බැංකොක් නුවර පැවැති තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 3ක් හා ක්‍රීඩිකාවන් 4ක් සහභාගී වූහ.

එහිදී මීටර් 2000 බාධක දිවීමේ කාන්තා තරගයේ රන් පදක්කම දිනාගත් කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ පාරමී වසන්තී විනාඩි 6: 35. 20කින්, මීටර් 400 පිරිමි තරගයේ රන් පදක්කම දිනාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඩිලාන් බෝගොඩ තත්පර 48. 58කින්, උස පැනීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනාගත් සෙනිරූ අමරසිංහ මීටර් 2.14කින් හා මීටර් 200 කාන්තා තරගයේ සිවුවැනි ස්ථානයට පත්වූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්දා ජේසන් තත්පර 25. 50කින් යොවුන් ඔලිම්පික් පරිසාධන මට්ටමට ළගා වූහ.

මෙයින් රන් පදක්කම දිනාගත් පාරමී වසන්ති ඇයගේ ඉසව්වේ සිටින ලෝක යොවුන් ක්‍රීඩිකාවන් අතුරින් පළමු ස්ථානයේ සිටීම විශේෂත්වයකි. එබැවින් යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවස්ථා මෙවර ශ්‍රී ලංකාවට උදාවී ඇත. එමෙන්ම සෙනිරූ අමරසිංහ ලෝක යොවුන් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ සිවුවැනි ස්ථානයේ පසුවේ.

මීටර් 200 ඉසව්වට එක්වූ කොළඹ සාන්ත පීතර් විදුහලේ දිනෙත් සේනානායක තත්පර 23. 48කින් අටවැනි ස්ථානයට පත්වූ අතර මීටර් 1500 කාන්තා ඉසව්වට එක්වූ වලල ඒ රත්නායක විදුහලේ සමුද්ධිකා හේරත් විනාඩි 4; 41. 92කින් 5වැනි ස්ථානයට පත්වූවාය. මීටර් 2000 බාධක දිවීමේ කාන්තා තරගයේදී කුලියාපිටිය මධ්‍ය මහා විදුහලේ අශ්මිකා හේරත් විනාඩි 7: 09. 95කින් ලෝකඩ පදක්කම දිනාගත්තාය. එහෙත් දිනෙත්, සමුද්ධිකා හා අශ්මිකා යොවුන් ඔලිම්පික් අළෙලට අවශ්‍ය පරිසාධන මට්ටමේ පසු නොවුණි.

අශ්මිකා හේරත් සහභාගීවූ මීටර් 2000 බාධක දිවීමේ තරගයේදී ආසියාවෙන් පළමු දෙදෙනා පමණක් සුදුසුකම් ලබන හෙයින් ඇයට යොවුන් ඔලිම්පික් වරම් අහිමිවීමට තවත් හේතුවකි.

ලබන ඔක්තෝබර් මාසයේ ආර්ජන්ටිනාවේ බුවනර්ස් අයර්ස් හීදී පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලට මේ වන විට ක්‍රීඩා 5ක් නියෝජනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවෙන් 11ක් සුදුසුකම් ලබා ඇත. මලල ක්‍රීඩාවෙන් ක්‍රීඩකයින් 2ක් හා ක්‍රීඩිකාවන් 2ක්, දුනු වීමෙන් ක්‍රීඩකයෙක්, බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක්, බාස්කට්බෝල් ක්‍රීඩිකාවන් 4ක් හා ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් එම කණඩායමට ඇතුලත් වෙති.

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් නාම ලේඛණ සැකසීම ලබන සැප්තැම්බර් මාසයේදී සිදුවන අතර එහිදී වෙඩි තැබීම හා තවත් ක්‍රීඩා කිහිපයකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ අනුග්‍රහය යටතේ තවත් අවස්ථා හිමිවනු ඇතැයි ද පැවැසේ. වසර 2010 දී සිංගප්පුරුවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7ක් හා 2014දී චීනයේ නැංජින් හී පැවැති ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 9ක් සහභාගී වූහ. එහෙත් තවමත් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවී නැත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();