භික්ෂූ සමාජය තුළ පමණක් නොව විනය පිරිහීම පිළිබඳ ප්‍රශ්නය දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පුරවැසියන් ආදි කොටගත් සෑම තැනම පැතිරී තිබෙනවා. විනය පිරිහීම නිසා බොහෝ ප්‍රශ්න ඇතිවෙනවා.
සම්බුද්ධ ශාසනය සහ භික්ෂු සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් හා යුතුකම් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද සහ අනුශාසනා අනුව නොපමාව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ වෙනුවෙන් බොහෝ වැඩකොටසක් මේ වනවිට ඉටුකර තිබෙන අතර ඉදිරියේ දී එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බවද සමාජය යහමඟට ගැනීම සඳහා ආගමික දර්ශනයන්ට අනුව ඉටුකළ යුතු වැඩපිළිවෙළ ද නොපමාව ඉටු කිරීමට වත්මන් රජය උරදී සිටින බවද ඒ මහතා පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනාහිමි පදවියෙන් පිදුම් ලැබූ සද්ධර්ම කීර්ති ශ්‍රී විද්‍යා විභූෂණ, රාජකීය පණ්ඩිත, අතිපූජ්‍ය මාතලේ ධම්මකුසල නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පෙරේදා (17) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකෙරිණි. දක්ෂ වියත් පඬිරුවනක් වන පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේගේ ශාසනික හා සාමාජයීය මෙහෙවර අගය කරමින් උන්වහන්සේට මෙම ධුරය පිරිනමා තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ මෙම උත්සවයේ මුලසුන හෙබවූහ.
එහිදී වැඩිදුරටත් අඳහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා:
මාතලේ ධම්මකුසල නාහිමියන් අද අනුනායකධුරයට පත්වීම නිමිත්තෙන් පවත්වන පුණ්‍ය කටයුත්ත සඳහා සහභාගිවීමට සහ උන් වහන්සේ වෙත විජිනි පත පිළිගැන්වීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. මම දිඟු කලක සිට උන් වහන්සේ දැන හැදිනගෙන තිබෙනවා. බොහෝ බෞද්ධ කටයුතු, පිංකම් ආදි ස්ථානවල දී උන් වහන්සේ හමුවෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විදියට අද කාලයට ඉතාම අත්‍යවශ්‍ය චරිතයක්. ධර්මධර, විනයධර, බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් ලෙස එම චරිතයෙන් දෙන ආදර්ශය භික්ෂූ සමාජයටත් ගිහි සමාජයටත් වැදගත් ව. බෞද්ධ රටක් වශයෙන් අපිට තිබෙන දායාදය තමයි බෞද්ධ ධර්මය සහ බෞද්ධ දර්ශනය. අපිට බෞද්ධ රටක් ලෙස උදම් අනන්නට පුළුවන්.
බෞද්ධ ධර්මයේ මූලස්ථානයක් වශයෙන් තිබෙන අපේ ශ්‍රී ලංකාව වැදගත් ස්ථානයක පසුවෙනවා. සමාජයීය වශයෙන් අපිට තිබෙන බොහෝ ප්‍රශ්න, ගැටලු සඳහා බෞද්ධ දර්ශනයෙන් ලබාදෙන විසඳුම අපි දන්නවා. භික්ෂූ සමාජය සම්බන්ධයෙන් කළයුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් ප්‍රකාශ කළා. වත්මන් රජය බලයට පත්වූ පසුව මේ සම්බන්ධයෙන් මූලික වැඩකොටස් රාශියක් ඉටුකළා. මේ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය අණ පනත් යෝජනා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. ඒ සමඟම භික්ෂූන් වහන්සේලාගේ ඇතිවූ විවිධ ගැටලු සහ නිකායික වශයෙන් ඇතිවූ විවිධ අඳහස් හේතුවෙන් අපි කරගෙන ආ වැඩසටහන තාවකාලිකව නතර කරන්න සිදුවුණා. නමුත් මහා සංඝරත්නයේ ඉල්ලීම මත ඒ වැඩසටහන බැණුම් අසා හෝ ආරම්භ කරන්න කැමැතියි.
කාලානුරූපව ඒ කරුණු වැදගත් . ඒ නිසා මෙවැනි පුණ්‍ය කටයුත්තට සහභාගි වන්නට ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. මහා නායක හිමියන් දෙනු ලැබූ අඳහස් හා අනුශාසනා මත රජයක් ලෙස අපි කටයුතු කිරීමේ දී උපදෙස් හා මඟ පෙන්වීම මත අපි සැමවිටම කටයුතු කරනවා. ඒ නිසා අප භික්ෂූ සමාජය ශක්තිමත් වීම මෙන්ම ශාසනික වශයෙන් අප කළයුතු සේවාවන් ඉටුකළ යුතු වගකීම්, බෞද්ධ දර්ශනය තුළ රජයක් ලෙස කළයුතු කාර්යයන් අප ඉටුකරනවා. පසුගිය වසර එක්සත් ජාතීන් විසින් නම් කළ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම ලෝක නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ දී සංවිධානය කළා.
සමාජයේ යහපත් බව සඳහා අවශ්‍ය නැඹුරුතාව මෙන්ම මේ වාණිජ සමාජය තුළ තිබෙන විවිධ ගැටලු ඇතැම් විට ප්‍රශ්න සහගත වෙනවා. මේ සියලු කරුණු තුල අපි සැවොම යහපත් බව, විනය හා හැදියාව සම්බන්ධයෙන් යුතුකම ඉටුකළ යුතු වෙනවා. අද දවසේ අපි දකින ප්‍රධානතම ප්‍රශ්නය තමයි විනය පිළිබඳ ප්‍රශ්නය. භික්ෂූ සමාජය තුළ පමණක් නොව විනය පිළිබඳ ප්‍රශ්නය දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන්, රටේ සාමාන්‍ය පුරවැසියන් ආදි කොටගත් සෑම තැනම පැතිරී තිබෙනවා. විනය පිරිහීම නිසා බොහෝ ප්‍රශ්න ඇතිවෙනවා. ලෝකයේ දියුණු රටවල එම දියුණුවට තාක්ෂණය, භෞතික සම්පත් වඩාත්ම දායකත්වය ලබා තිබෙනවා වගේම විනයක් ඇතිව සමාජය ගොඩනැඟීම ප්‍රමුඛ කාර්යභාරයක් .
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නාහිමි -
මාතලේ ධම්මකුසල නාහිමියන්ගේ ජීවිතය ආදර්ශවත් ජීවිතයක්. තරුණ හිමිවරුන්ට මෙන්ම තරුණ ගිහියන්ට ද උන්වහන්සේගේ ආදර්ශවත් ජීවිතය ඉතා වැදගත් වෙනවා. පින්වන්ත ප්‍රදේශයක උපත ලබා තිබෙනවා. ධම්මකුසල හිමියන්ට අනුනායක පදවිය ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා. උන් වහන්සේගේ ශාස්ත්‍රීය සේවය ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා. අපේ නිකාය වෙනුවෙන් ද මාතලේ ධම්මකුසල නාහිමියන් විසින් ඉටුකර තිබෙන සේවාව ඉතා විශාලයි. අපි හැමදෙනාම උට්ඨාන වීර්යයෙන් යුතුව කටයුතු කළයුතුයි. ශක්තිය, ධෛර්යය හා බුද්ධියෙන් කටයුතු කිරීම අවශ්‍යයයි. තමන් වහන්සේ විසින් ආරම්භ කරන ලද යම් යම් කාර්යයන් අතපසු නොකර ඉදිරියටම ක්‍රියාත්මක කළයුතු වෙනවා.
අමරපුර මහා සංඝ සභාවේ මහානායක කොටුගොඩ ධම්මාවාස මහා නාහිමි -
සිල්වත්, ගුණවත් හිමිනමකට අවශ්‍ය තනතුරක් අද දිනයේ පිරිනමනවා. ධම්මකුසල හිමියන් වසර 30ක පමණ කාලයක් සිට හොඳින් හඳුනනවා. උන් වහන්සේ දිනෙන් දින සිල්වත් වෙනවා. මෙවැනි මහා සඟරුවන නිසා සම්බුද්ධ ශාසනය රැකෙනවා. බුදුසසුන යම් ආකාරයකින් ප්‍රපාතයට ඇද වැටීගෙන යන බවක් පේනවා. ඒ තත්ත්වය තවදුරටත් ඉදිරියට යායුතු නැහැ. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මහා සංඝරත්නය පවතින රජයන්ගෙන් ඉල්ලීම් කළේ 1956 වසරේ සිටයි. අපි සිතා බලා යම් යම් ප්‍රකාශ කරන්නේ නම් ජනතාව පිළිනොගන්නවා කියන්න බැහැ. ඒවා ඉහළින් පිළිගන්නවා. භික්ෂූන් සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කරනවා. සංඝ සභාවක් වෙත යම් යම් තීන්දු දුන්නාට ඒවා බලපාන්නේ නැහැ.
ඒ නිසා මහානායක හිමිවරුන් සිටියාට ඇති වැඩේ කුමක් ද කියා ජනතාව අහනවා. ඇතැමුන් සාකච්ඡා කොට හොඳ තීන්දු තීරණ ගන්නවා. නමුත් යම් යම් අවස්ථාවල අපි දෙන උපදෙස් සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කරන්නේ නැහැ. මේ නිසාම සංඝ කථිකාවතක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් දැන් හොඳටම කල් වැඩියි. මේ සඳහා අවශ්‍ය නාහිමිවරුන් විශාල පිරිසක් මේ වනවිට නැහැ. මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමුකර වමහා සංඝරත්නය සමඟ සාකච්ඡා කොට මෙය නීතිගත කරන ක්‍රමයක් සම්බන්ධනේ අවධානය යොමු කළයුතු වෙනවා.
මේ වෙනුවෙන් යම්කිසි පිළිවෙතක් අවශ්‍ය වෙනවා. යම් යම් පැටලිලි ඇතිකර ලාභ ප්‍රයෝජන ගන්නත් පිරිසක් ඉන්නවා. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමුකර තීරණයක් ගතයුතු වෙනවා. ගිහි පැවිදි අධ්‍යාපනය එක් කිරීමට යාමෙන් වූ විපත ගැන මහා සඟරුවන කතා කරනවා. ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සැලසුමක් දියත් කළයුතු වෙනවා.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමි -
මාතලේ ධම්මකුසල නාහිමියන් සම්බුදු සසුනට භික්ෂූන් නමකින් ඉටුවිය යුතු කාර්යය නොඅඩුව ඉටුකර තිබෙනවා. සුපේෂල ශික්ෂාකාමී අනුනායක හිමිනමක්. උන් වහන්සේ හැම අතින්ම වටිනා මෙහෙවරක් සිදුකර තිබෙනවා. සාමකාමී. කරුණාවන්ත දිවිපෙවෙතක් ගතකරනවා. අපි උන් වහන්සේව දිඟු කලක සිට ඇසුරු කරනවා. අපි දෙදෙනා එකම අවුරුද්දේ උපත ලබා තිබෙනවා. ධම්මකුසල හිමියන් රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමි වෙනවා. මම මල්වතු පාර්ශවයේ අනුනාහිමි වෙනවා. අපි දෙන්නම කන්ද උඩරට ජන්ම ලාභය ලබා තිබෙනවා. උන් වහන්සේ හොඳ ගුරුවරයෙක්. ශිෂ්‍ය භික්ෂූන්ට මෙන්ම ගිහි සිසුනට ද අධ්‍යාපනය ලබාදී තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනාහිමි මාතලේ ධම්මකුසල නාහිමි -
මම මාතලේ දිස්ත්‍රික්කයේ පිටිසර ගමක ඉපදුන කෙනෙක්. නමුත් පසු කලෙක මට මහණකම කරන්න සිදුවුණා. අපේ ගමේ විශාල පිරිසක් මහණ වී සිටි නිසා අපේ පවුලටත් බලපෑම් ආවා. ඉතිං කෙසේ හෝ කේන්ද්‍රය බලන විට මඟේ කේන්ද්‍රය හොඳයි කියා කිව්වා. වයස අවුරුදු 10 දී මම ශාසනයට ඇතුළත් වුණා. එයින් පසුව මම වයස අවුරුදු 15 දී මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වුණා. කළ්‍යාණ මිත්‍ර ඇසුර මඟේ ජීවිතය රැක ගත්තා. බණ්ඩාරනායක මහතා ඝාතනය කළ වෙලාවේ සහ භික්ෂූන් අරඟල ඇතිකළ අවස්ථාවේ අපිටත් බැණුම් අහන්න සිදුවූ අවස්ථා තිබෙනවා.
ඒ කාලේ විවිධ ප්‍රශ්නවලට මැදිවෙලා කටයුතු කරන්න අපිට සිදුවුණා. ගිහි පැවිදි සබඳතා අවශ්‍ය වෙනවා. දිඟු කලක් මේ රටේ රාජ්‍ය නායකයින් හැමදෙයක්ම ආරක්ෂා කරනවා. ශාසනය ආරක්ෂා කරගන්නත් කටයුතුකර තිබෙනවා. කුමන ජාතියක් සිටිය ද අපි සමඟියෙන් කටයුතු කළයුතු වෙනවා. 1966 වසරේ දී මම මට්ටක්කුලියට ආවා. අද ඒ ප්‍රදේශයේ බෞද්ධ බලය අපේ අතේ තිබෙනවා. යුක්තිය, ධර්මය, සත්‍යය සම්බන්ධයෙන් අදටත් අපේ රටේ කතා කරන්න පුළුවන්. භික්ෂූන් නිසා ඒ තත්ත්වය උදා වී තිබෙනවා. අපි දුරදිග බලා කටයුතු කරනවා නම් සම්බුදු සසුන ආරක්ෂා කර ගන්න පුළුවන්. අපි සියලු දෙනාම සමඟියෙන් කටයුතු කළයුතු වෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ ශාසනරතන නාහිමි -
මාතලේ ධම්මකුසල නාහිමියෝ වයස අවුරුදු 10 දී පැවිදි දිවියට ඇතුළත්ව තිබෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ පිටිසර ගමක ඉපදී තිබෙනවා. අද වනවිට උන් වහන්සේට වයස අවුරුදු 76ක් පමණ වෙනවා. ශාසනය වෙනුවෙන් මාතලේ ධම්මකුසල නාහිමියෝ විශාල සේවාවක් සිදුකර තිබෙනවා. උන් වහන්සේට හොඳ ගුරු අනුශාසනා ලැබුණා. උගත් හිමිවරු ගුරුවරුන් ලෙස ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. රාමඤ්ඤ මහා නිකායේ පරිපාලනය වෙනුවෙන් 1980 වසරේ සිට දායක වී තිබෙනවා.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායරක්ෂක සභාවේ සභාපති සහ පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා -
මාතලේ ධම්මකුසල නාහිමියින් සමාජයීය වශයෙන් ශාසනික වශයෙන් රටට සිදුකර තිබෙන සේවය සම්බන්ධයෙන් අපි දන්නවා. උන් වහන්සේ අපි සියලු දෙනාගේම ගෞරවයට පාත්‍ර වූ හිමිනමක්. අපි ඉතාම සමීපව ඇසුරු කළා. උන් වහන්සේගේ ශක්තිය, ගුණාංග අපි දැක තිබෙනවා. අපේ නිකායේ විහාරස්ථාන 2,000 කට සහ ස්වාමීන් වහන්සේලා 8,000 කට කටයුතු ශක්තිමත් කරමින් නිකාය දියුණු කරන්න විශාල වෙහෙසක් දරා තිබෙනවා. අපේ නිකාය සඳහා මූලස්ථානයක ඉදිකිරීම වෙනුවෙන් අපේ අපවත් වී වදාළ මහානායක හිමියන්ගේ සිහිනයක් තිබුණා. නමුත් ඒ කටයුත්තේ දී මාතලේ ධම්මකුසල නාහිමියෝ විශාල ශක්තියක් ලබාදුන්නා. මේ සියලු දේට වඩා අපි දකින්නේ උන් වහන්සේගේ ජීවත්වන ප්‍රදේශයයි. එහි සියලු ජාතීන් ඉන්නවා. ඒ සැම දෙනාගේම ගෞරවය දිනාගත හැකි ආකාරයට කටයුතු කරනවා.
උන්වහන් සේ මේ උපහාර ලබන්නේ ඉල්ලලා ගත් දෙයක් නොවේ. යෝජනා කළ එකක් නොවේ. සේවය, කැපවීම, හැකියාව තේරුම් ගනිමින් කාරක සංඝ සභාව විසින් ඒකඡන්දයෙන් මේ පදවිය පිරිනමන්නට තීරණය කර තිබෙනවා. මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ වීම පිළිබඳව ස්තුතිය පිරිනමනවා. මෙවැනි පදවි, තනතුරු ලැබෙන විට යුතුකම් හා අයිතිවාසිකම් කොටසක් තිබෙනවා. පසුගිය වසරේ දී ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වුවා. එය අපිට ඵෙතිහාසික අවස්ථාවක්. ඒ අවස්ථාවේ අපි බෞද්ධ රටක් වශයෙන් ලෝකයට නායකත්වය දෙන්න හැකියාව ලැබුණා. ලංකාවේ යම් සිදුවීමක් දුටු විට විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අපිට කතාකර කියනවා.
දේශපාලන වශයෙන් අපේ රට විවිධ මත දරණ අවස්ථාවක ජාතික සමඟිය දුර්වල අවස්ථාවක මහා සංඝරත්නය පෙරට පැමිණ මේ රටේ විනයක් ඇතිකළ යුතු වෙනවා. විනයක් තිබෙනවා නම් ගෙදර සශ්‍රීක වෙනවා. විනයක් තිබෙනවා නම් ගමක ඒ ගම සශ්‍රීක වෙනවා. විනයක් තිබෙනවා නම් රටක ඒ රට දියුණු වෙනවා. අද අපේ රටේ සෑම අංශයකින්ම විනය පිරිහී තිබෙනවා. මහා සංඝරත්නය වගේම අපිත් දුක්විදිනවා. විනයක් ඇතිවිය යුතු වෙනවා. එවිට අනෙක් ප්‍රශ්න විසදෙනවා. රටේ විනයක් තිබෙනවා නම් රටට උසාවි, පොලිසි අවශ්‍ය නැහැ. පොඩි ප්‍රශ්නයක් සාකච්ඡා කොට විසඳා ගන්නට පුළුවන්. නමුත් මෙවැනි තත්ත්වයන් දුරදිග යනවිට පීඩා විඳින්නේ අසරණ ජනතාවයි. වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන නිසා අසරණ රෝගීන් මියයන ආකාරය අපි දැක තිබෙනවා. විනයක් ඇතිව මේ සියල්ල කටයුතු කරනවා නම් රටේ විශාල වෙනසක් කරන්න පුළුවන්.
එක නිකායක කතිකාවක් වසර 75ක් පමණ පරණ වෙනවා. තවත් නිකායක කතිකාවත වසර 50ක් පමණ පැරැණි වෙනවා. මේවා නීතිගත නොවන්නේ නම් ඒවායේ කිසිඳු නීතිමය බලයක් නැහැ. මේ නීතිය, බලය මහා සංඝරත්නය ප්‍රමුඛ මහා සංඝ සභාවට නොදීම මේ ප්‍රශ්නවලට මූලික හේතුවක් වෙනවා. මේ කරුණ තේරුම් ගතයුතු වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව 2015 වසරේ අගෝස්තු මාසය වනවිට මේ කතිකාවත් නීතිගත කරන්න අවශ්‍ය කටයුතු අවසන්කර තිබුණා. අවවාද අනුශාසනා අරගෙන මේ පනත හැදුවා. මෙය අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කළා. විහාර දේවාලගම් පනත ද ඒ කාලයේ ඉදිරිපත් කළා. වෙසක් කාලයේ සිදුකරන විවිධ වැරැදි ක්‍රියාකාරකම් නතර කරන්න පියවර ගත්තා.
නමුත් මේ කතිකාතවත ගෙනා අවස්ථාවේ සමාජයේ එක්තරා කොටසක් මෙය බුදුදහමට හානි වෙනවා යැයි පැවසුවා. ඒ නිසා අය තාවකාලිකව නතර වුණා. නීතිරීති ක්‍රියාත්මක කිරීම සහ දඩුවම් කිරීම මහානායක හිමිවරුන් ප්‍රමුඛ සංඝරත්නය විසින් කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් ගිහියන්ට මැදිහත් වෙන්නට බැහැ යැයි පැවසීය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනාහිමි පදවියෙන් පිදුම් ලැබූ මාතලේ ධම්මකුසල නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ අතින් සිදුකෙරුණු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජිනිපත පිළිගැන්වීය. අතිපූජ්‍ය මාතලේ කුසලධම්ම අභිෂ්ටව සංග්‍රහය “කුසුමාඤ්ජලී” නම් ශාස්ත්‍රීය කලාපය එහි සංස්කාරක රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තල්දෙන අරියවිමල ස්වාමින් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වරාගොඩ ප්‍රේමරතන නාහිමි, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප - සුදත් මලවීර


0 Comments