සංවර්ධන කටයුතු විද්‍යානූකූලව සිදු නොවීම ආපදා ඉහළ යෑමට හේතුවක් බවත් වාරිමාර්ග ජල සම්පත් හා ආපාද කළමණාකරන රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැති අබාධ තත්ත්වයන් හා ආපදා කළමනාකරණ ජාත්‍යන්තර සමුළුව අමතමිනි.
රටවල් 25 ක නියෝජිතයින් සහභාගී වූ මෙම සමුළුව ආරම්භ වූයේ බංග්ලාදේශ අගමැති ෂික් හෂිනා මැතිණියගේ ප්‍රධානත්වයෙනි.
එහි අවසන් ප්‍රධාන සැසිවාරය පෙරේදා(17) පැවැත් වුණේ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ සභාපතිත්වය යටතේය.
ආපදා කළමනාකරණ ජාතික සැලැස්මක් බංග්ලාදේශය සඳහා හදුන්වාදීම වෙනුවෙන් මෙම සමුළුව කැඳවා තිබිණ.
ආපදා කළමනාකරණය සඳහා වඩාත් විද්‍යාත්මක හා කල් පවතින ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පියවර ගැනීමට කාලය පැමිණ තිබෙන බව ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා ජීවත්වීම උදෙසා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන මිනිස් සමාජය දැනුවත්ව හා නොදැනුවත්ව ආපදා අවස්ථාවන් සිය ජීවිතයේ කොටසක් කර ගන්නා තත්ත්වයක් නිරීක්‍ෂණය වන බව ද කීය. දිනෙන් දින සිදුවන වෙනස්වීම් ලෝකයේම දායකත්වය ඇතිව සිදුවන බවත්, ඒ තුළින් මතුවන ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පැවරෙන වගකීම සමස්ත ලෝකයම බාර ගත යුතුවා සේම ආපදා අවම කර ගැනීමේ ක්‍රමවේදයන් වෙනුවෙන්ද කලාපීය හා ගෝලීය වශයෙන් එක්ව ක්‍රියාත්මක විය යුතු බවත් රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
ආපදා කළමනාකරණයේ දී ශ්‍රී ලංකාවටද විශේෂ අවදානයක් යොමු කිරීමට සිදුව ඇති බවත්, නොසැලකිලිමත් ක්‍රියාවන් හමුවේ විවිධ ආපදාවන්ට ලක්ව ජීවිත රැසක් අහිමි වූ බවත් අැමැතිවරයා මෙම සමුළුවේ දී පෙන්වා දුන්නේය. දේශපාලන අවශ්‍යතාවන් මත පමණක් ඉදිකිරීම් හා අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීමද ශ්‍රී ලංකාවේ ආපදාවන් ඉහළ යාමට හේතුවක් වී ඇතැයිද ඔහු සමුළුව අමතමින් පැවසීය. කෙසේ වෙතත් මින් ඉදිරියට නිවැරදි හා විද්‍යාත්මක තක්සේරු කිරීම්වලින් අනතුරුව පමණක් සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමට වත්මන් ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැයිද ඇමැතිවරයා එහි දී ප්‍රකාශ කෙළේය.
ආපදා කළමනාකරණයේ දී වැදගත්ම අංගය වන්නේද ආපදා සිදුවීමේ ප්‍රවනතාව අවම කිරීම බව ද පෙන්වා දුන් රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ, එවැනි වැඩපිළිවෙළක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන අතරම ජනතාවද නිසි ලෙස දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවයි.
සමුළුවේ දී ශ්‍රී ලංකාව ලබා දුන් දායකත්වය අගයමින් රංගේ බණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමිණ. එය පිරිනමන ලද්දේ බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ ඇමැති හුසේන් චවුද්රි මහතා විසිනි.
සමුළුව 18 වැනි දා අවසන් වීමට නියමිතව තිබුණද මෙරටට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හා ඒ මත ඇති වීමට ඉඩ ඇති ආපදා අවදානම පිළිබඳ අවදානය යොමු කරමින් රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා සමුළුව නිමා වීමට දිනක් තිබිය දී යළි දිවයිනට පැමිණි අතර ඔහු දිවයිනට පැමිණි විගස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ අංශ සමඟ සම්බන්ධ වී ඇති විය හැකි යම් කිසි ආපදා තත්ත්වයක් වේනම් ඒවා පාලනය කිරීමට හා ජනතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද කටයුතු කෙළේය.


0 Comments