සමාරම්භය ජනපති ප්‍රධානත්වයෙන්
දේශීය සිනමාව පෝෂණය කිරීමට කාලය ශ්‍රමය කැප කර විශ්‍රාමිකව සිටින කලාකරුවන් අගයනු වස් මාසික දීමනාවක් ප්‍රදානය කිරීමේ නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පස්වරුවේ ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්විණි. 1987 වසරේ රුපියල් 500න් ඇරඹී මෙම දීමනාව පසුකාලීනව රුපියල් 2000 දක්වා වර්ධනය වී කලාකරුවන් 57 දෙනකු වෙනුවෙන් පිරිනැමුණු අතර 1998 වසරෙන් පසුව එම මුදලේ වර්ධනයක් සිදුනොවුණි.
රුපියල් 2000ක්ව පැවැති මෙම දීමනාව වසර 20කට පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පසුගිය අය-වැය යෝජනාවලින් රුපියල් 5000 දක්වා ඉහළ නැංවිණි. ඒ අනුව මෙම අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි කලාකරුවන් 163 දෙනකු වෙනුවෙන් රුපියල් 5000 බැගින් මෙම දීමනාව පිරිනැමෙන අතර, 2018 මාර්තු 31 දක්වා ලද අයදුම් පත් අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ වී දැනට ඉල්ලුම් කර ඇති කලාකරුවන් මේ සඳහා තෝරාගෙන තිබේ.
එදිනට පසු ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා දීමනා පිරිනැමීම දෙවැනි අදියර යටතේ සිදු කිරීමට නියමිතය.
දීමනා ප්‍රදානය සංකේතවත් කරමින් කලාකරුවන් 20 දෙනකු වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
මෙරට සිනමා ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ ප්‍රවීණ සිනමාකරුවකු හා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ඡායාරූපයක් ජාතික චිත්‍රපට සංස්ථාව තුළ නිරාවරණය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිණිය වන වෛද්‍ය කල්‍යානි නිහාල්සිංහ මැතිණිය ද එම අවස්ථාවට එක්ව සිටියාය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ප්‍රමුඛ දේශීය සිනමාවේ උන්නතිය උදෙසා දායත්වය සැපයූ මිය ගිය සියලුම කලාකරුවන් සිහිපත් කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි. අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු යන මහත්වරුන් ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සහ ප්‍රවීණ සිනමා ශිල්පීන් වන රවින්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා යන මහත්ම මහත්මීන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


0 Comments