සිංහල සිනමාව ලෝක සිනමාව වෙත හඳුන්වා දෙමින් අනුපමේය යුග මෙහෙවරක් සිදුකළ හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පූජක පක්ෂය, කලාකරුවන්, දේශපාලනඥයන් මෙන්ම සිය ගණන් රසික ජනතාව කොළඹ, තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ අංක 24 දරන නිවස වෙත ඊයේ (01) දිනයේ පැමිණ සිටියහ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කෙරෙහි තමන්ට ඇති ගෞරවය මෙන්ම එතුමා පිළිබඳ ඇති මතක සටහන් පිළිබඳ ඔවුන්ගෙන් කිහිපදෙෙනක් මෙසේ අදහස් දැක්වූහ.
ලෙස්ටර් පොදු ජනතාවගේ හදගැස්ම තේරුම් ගත්තා
- අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමි
ලෙස්ටර් ජේම්ස් පීරිස් කලාකරුවාණන් ස්වර්ගස්ථවීම පිළිබඳ පළමුවෙන් ම අපි අපගේ කනගාටුව පළ කරනවා. එතුමා අවුරුදු 99ක දීර්ඝ ජීවිත කාලයක් තුළ තමන්ට හැකි අයුරින්, සමාජයට යම් ආකාරයක අධ්‍යාත්මික සහ මානුෂික පෝෂණයක් ලබා දීම සඳහා විශේෂයෙන් ම චිත්‍රපට මාධ්‍යය භාවිත කළා. එතුමා නිෂ්පාදනය කළ හැම චිත්‍රපටයකම පාහේ මේ රටේ පොදුජනතාවගේ හදගැස්ම හරියට ම තේරුම්ගත් කෙනකුගේ චින්තනය අපට දකින්නට පුළුවන්. ඒ වගේම ඒ හැම චිත්‍රපටයකින් ම උතුම් වූ පණිවුඩයක් ලබා දීමට ශක්තිය තිබෙන මාධ්‍යයක් බවට පත් වුණා. ඒ සියල්ලක් ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මේ රට වෙනුවෙන් කළ උතුම් සේවාවක් ලෙස තමයි අපි දකින්නේ. ඒ නිසා අපි කතෝලිකයන් වශයෙන් සතුටු වෙනවා ඒ ගැන. එතුමා කතෝලිකයෙක් ලෙස ඒ අභාසය තමන්ගේ ජීවිතය තුළ ශක්තිමත් කර ගෙන සියලුම දෙනාට, අනෙකුත් සියලුම ආගමිකයන් හට තමන්ගෙන් සිදුවිය යුතු සේවය ඉටු කිරීමට කටයුතු කිරීම ගැන. අපි එතුමාට ස්වර්ගයේ සම්පත ප්‍රාර්ථනා කරනවා.
විශිෂ්ට ලංකා පුත්‍රයෙක්
- විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති ආචාර්ය සරත් අමුණුගම
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මා අවුරුදු 15ක පමණ කාලයක් ඉතාම ළඟින් ඇසුරු කරලා තිබෙනවා. මා එතුමා හඳුනාගත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය යෙක් විදිහට සිටිය කාලෙදියි. ඒ කාලයේ සිටම ඉතාම සමීප මිතුරෙක් හැටියට කටයුතු කළ බව කියන්න කැමතියි. එතුමා විශිෂ්ට ලංකා පුත්‍රයෙක්. කලාව ගැන, කලාවට සම්බන්ධවූ ශික්ෂණය ගැන, ඒ වගේම මේ රටේ ජනතාවට සේවයක් සැලසෙන ඔවුන් වැඩි වැඩියෙන් බලන කලාවක් නිර්මාණය කිරිම මේ ආදී සෑම දෙයක් අතින්ම ඉතාම සම්පූර්ණ මනුෂ්‍යයෙක්. එතුමා එක්ක වැඩකළ හැම දෙනාම මේක සනාථ කරයි. එතුමා ඉතාම විශිෂ්ට ගණයේ මිතුරෙක්, කලාකාරයෙක් වගේම පුරවැසියෙක්. එතුමා පූර්ණ ජීවිතයක් ගත කළා අවුරුදු 99ක. එතුමා හොඳ සිහියෙන් සිටියා. පොතපත කියෙව්වා. මිතුරන් ඇසුරු කළා. එතුමාගේ මරණය ඉතා කනගාටුදායක වුණත් එතුමා කළ සේවය, එතුමා ගත කළ පූර්ණ ජීවිතය ගැන ඉතාමත්ම සතුටු වෙනවා වගේම ඒ සම්බන්ධයෙන් අපේ ගෞරවය පුද කරනවා.
අපි ඔහුට සදා ණයගැතියි
- රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල
සිනමා නිර්මාණ සඳහා මෙතුමා විශාල දායකත්වයක් දැරුවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඔහුගේ ජිවිත කාලය තුළ මුදල් හම්බු කරන්න කටයුතු කළේ නෑ. සිනමාවේ උන්නතිය, එහි ප්‍රෞඩත්වය ආරක්ෂා කරන්න කැපවී කටයුතු කළ කෙනෙක්. අපි ඔහුට සදා ණයගැතියි.
හෙළ සිනමාව ලෝකයට ගෙන ගියා
- වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක
ලෙස්ටර් ජේම්ස් පිරීසි මැතිතුමා ආසියාවේ අනෙකුත් නිර්මාණශීලින් අතර ඉතාමත් විශිෂ්ට ලෙස ඔහුගේ නම සටහන් කර තිබෙනවා. මට මතක් වෙනවා ඉන්දියාවේ සත්‍යජිත් රායි, ජපානයේ අකිරා කුරසාවා මෙන්ම ශ්‍රී ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කියන තිදෙනාම ආසියාවේ සිනමා ක්ෂේත්රය නංවන්න විශාල කැපකිරීමක් සිදුකළා.
විශේෂයෙන් අපගේ හෙළ සිනමාව ලෝක සිනමාව වෙත ගෙන යාමට විශාල කැපකිරීමක්, නිර්මාණශීලීභාවයක් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පෙන්නුම් කළා.
එතුමාගේ ඒ නායකත්වය හරහා චිත්‍රපට අධ්යක්ෂවරුන් රාශියක් බිහිවුණා. එතුමා අවුරුදු 99ක් වැනි ඉතා සාර්ථක ජීවිත කාලයක් ගෙවා තිබෙනවා.
එතුමා ශ්‍රී ලංකා සිනමාවේ විශාලතම පහන් ටැඹ විදිහට හඳුන්වන්න පුළුවන්. අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, ඔහුගේ නාමය අප අතරින් වෙන් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා.
සිංහල සිනමාවට සිදුවූ කියන්න බැරි පාඩුවක්
- ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එක්ක මම එකට කටයුතු කර තිබෙනවා. 'දෙලොවක් අතර' චිත්‍රපටය මහනුවර රූගත කරද්දී අපි හැම අතින්ම ලෙස්ටර් සර්ට උදවු කළා. එහෙම කළේ ඒ නිර්මාණය ඉතාම සාර්ථකව සිදුකරන්න. පසු කාලයකදී එතුමා කිව්වා කලං එක්ක මට ලොකු වැඩක් කරන්න බැරිවුණානෙ කියලා. මම කිව්වා 'කමක් නෑ සර් ඒ වුණාට සර් මාව හඳුනාගත්ත එක මට ලොකු සම්පතක් ' කියලා. එතුමාගේ වියෝව සිංහල සිනමාවට සිදුවූ කියන්න බැරි පාඩුවක්. එතුමා කළ කර්තව්‍යය මම හිතන්නේ ආයෙත් සිනමාකරුවකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට ඉතාමත්ම දක්ෂ නිහතමානී නිර්මාණකරුවෙක් අහිමි වුණා. ඒ ගැන කනගාටු වෙනවා. ඒ කාලේ එතුමාගෙන් අපිට ලොකු හයියක් ලැබුණා අපේ සිනමා දිවියට. අපිට නායකත්වයක් ලැබුණා. ඒ වගේම එතුමා කවුරුවත් ගැන කවදාවත් විවේචනයක් කළේ නෑ. හැම දෙනාට ම හොඳ නරක කියලා දුන්නා. එතුමා හැම කෙනෙක්ව ම අගය කළා. ඒ අතින් බැලුවාම අපිට ලොකු ආඩම්බරයක්.
දක්ෂ නිර්මාණකරුවකු සමඟ වැඩකරන්න ලැබීම ගැන සතුටුයි
- ප්‍රවීණ කලාකාරිනී වසන්ති චතුරාණි
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අපට දැනුණ අපට හිටිය සිනමාවේ හිටපු එකම පුරෝගාමියා වගේම අපට පියෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. කලා ශිල්පීන් කෙරෙහි එතුමාට තිබුණ ගෞරවය වගේම ඒ ශිල්පීන් එතුමාට දැක්වූ ගෞරවය ගැනත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපිට රඟපන්න විතරක් නෙවෙයි සමාජය ගැන හුඟක් දැනුම තිබෙන කෙනෙක් එක්ක අපි වැඩ කළේ. මේ දැනුම අපටත් ලැබුණා. එතුමාගේ අභාවයේ තිබෙන පාඩුව මම නම් හිතන්නේ නෑ පිරිමැසෙයි කියලා. එතුමා තරම් දැනුමක් තේරුමක් තිබුණ දක්ෂ නිර්මාණකරුවකු සමඟ වැඩකරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. දැන් ඉන්න පරම්පරාවටත් ඇත්තට ම මේ වගේ අය අවශ්‍යයි. ඒත් ජීවිතය කියන්නේ අස්ථිර දෙයක්. ඒ අය මට සැලකුවේ තමන්ගේ ම දරුවකුට වගේ.
මෙවැනි කලාකරුවෙක් මේ වගේ පුංචි රටක බිහිවීම භාග්‍යයක්
- පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල
සිංහල සිනමාව දකුණු ඉන්දියානු අභාසය තුළ අඳුරක ගිලී තිබූ මොහොතක සිංහල සිනමාවේ රිදී රේඛාව මතු කර ගෙන, නිධානය පහළ කර ගෙන සිංහල සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවා තබා එහි සිංහල ලකුණ තැබීමට සමත්වූ චිත්‍රපට අධ්යක්ෂවරයා තමයි ලෙස්ටර් ජේම්ස් පිරිස් මැතිතුමා කියන්නේ. එතුමා ඇත්තෙන්ම යුග පුරුෂයෙක්. එවැනි කලාකරුවන් සමස්ත ලෝකයේ ම බිහි වන්නේ ඉතාම කලාතුරකින්. එවැනි කලාකරුවෙක් අපි වගේ පුංචි රටක බිහිවීම ගැන අපි භාග්‍යවන්ත වුණා කියලයි මම හිතන්නේ.
රටට ජාතියට බලවත් පාඩුවක්
- බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දායකත්වය ශ්‍රී ලාංකීය සිනමාවට පමණක් නෙවෙයි, ශ්‍රී ලාංකීය සිනමාව හරහා වැදගත්කමකින් යුත් පණිඩුයක් මේ රටට දුන්නේ එතුමා. එතුමා සිංහල සිනමාවට නව පුනර්ජීවනයක් ලබා දීමත් සමඟම රටේ සංස්කෘතිය පිළිබඳ, රටේ පිළිගැනීම් පිළිබඳ, මතවාදයන් පිළිබඳ එළිදැක්වීමක් නිරන්තරයෙන් කළා. නිහතමානී ගුණයෙන් අනූන, ඒ වගේම ශ්‍රේෂ්ඨත්වයෙන් අගතැන්වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ අභාවය රටට ජාතියට බලවත් පාඩුවක්.
දැයට අහිමි වූ ජාතික සම්පත
විසිවන සියවසේ සිනමා මේඝදූතය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්ගේ අභාවය පිළිබඳව දැඩි ලෙස ශෝක වන්නෙමු.
ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවේ ප්‍රධානතම පරිච්ඡේදයන්හි ප්‍රධාන භූමිකාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස්පීරිස් සූරින් බවට විවාදයක් නැත. ඔහු ජාත්‍යන්තරය ජයගත් අති සුවිශේෂී වූ කලාකරුවෙකි.
ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් කරමින් සෙලියුලොයිඩ් පට මත ඔහු සංවේදීව සිත්තම් කළ විවිධ හැඩ තල ගත් නිර්මාණයන් ජන හදවත් අවදිකරන්නට සමත් විය. එය මානව ප්රගමනයට දායක විය. එසේම සිනමාවේ අක්මුල් සොයා යන එදා අද පරපුරට දැක්මක් වූවා සේම ඔබ මතු පරපුරට අත්පොතකි.
අප පවුලට ආලෝකයක් වූ දයාබර සොහොයුරාණනි, ප්‍රේක්ෂක දනන්ගේ නෙතට උළෙලක් වූ මහා නිමැවුම් කරුවාණනි, ඔබ දැයක පිනට ලද ජාතික සම්පතකි. ඔබට සදා නිසංසල වූ නිවන් සුව පතමි.
දිනේෂ් ගුණවර්ධන පා.ම.
මහජන එක්සත්පෙරමුණේ නායක
ඒකාබද්ධ විපක්ෂ නායක
සිනමාවේ රේඛාව මැකී ගියේ ය...
ශාන්ත පීතර විදුහල්මවගෙන් අධියන ලැබ සිසුවෙකු විලසා
එංගලන්ත ගොස් සිනමාකලාව වැඩිපුර අධියන ගති සලසා
ගොඩ ගන්නට විරු ලෙස්ටස් පීරිස් වීරියගෙන හැරදා අලසා
නතු කරමින් ඉන්දියානු කලාව වැටබැඳ, ඇතුරුනි රන් පලසා
ටයිටස් විලිබෙලක් හමුවී මිතුරුව හෙළ සිනමාවෝ දියුණු පතා
“රේඛා” සිතුවම්පටයෙන් හෙළිකොට අම්මාවරු ගැන කියන කථා
සිංහල සිරිතට විරිතට රැකගත් ගැමි පරිසරයේකරුණු ගොතා
සිනමාවේ රන්කිරුලේ අයිතිය ලැබදුනි ලෙස්ටර් කියන පුතා
සංදේශය, ගම්පෙරලිය, කලියුගය, යුගාන්ත ගොඩිකිංනම් ගත්තු
නිධාන, දෙලොවක් අතර, බැද්දේගම අවරගිර සිනමාපට පත්තු
දෑසනිසා, මෑකන්දේවලව්ව, පුරන්අප්පු, ගොලුහදවත තෙත්තු
සිනමා මෙහෙවරටයි රණමයුරා සහතිකයක් ඔබ අත පත්තු
සංදේශය, ගම්පෙරලිය, කලියුගය, යුගාන්ත ගොඩිකිංනම් ගත්තු
නිධාන, දෙලොවක් අතර, බැද්දේගම අවරගිර සිනමාපට පත්තු
දෑස නිසා, මැකන්දේවලව්ව, පුරන්අප්පු, ගොලුහදවත තෙත්තු
සිනමා මෙහෙවරටයි රණමයුරා සහතිකයක් ඔබ අත පත්තු
අක්කරපහ සහ අහසින් පොළවට, දීපසිකා සම්මාන පිදී
ඕ.සී.අයි.සී.උන්ඩා ගෞරව එතරින් සිරිලක ලැබෙන ලදී
ලෙස්ටස් පීරිස් මැතිඳුට සුමිත්‍ර පීරිස් හැමවිට සහය දිදී
සිනමාවට කළ මෙහෙවර අගයමු ණය නැති වෙමු නෙත කඳුළු බිඳී
අනූනව වසක් සපුරු මොහොතේ ජනපතිදුන් සුභපතා දිනක්
“වෛෂ්ණා” සිතුවම්පට පෙන්වුයේ අවසන් මොහොතේ කරපු පිනක්
හෙළ සිනමාවේ විරුවාණෙනි ඔබ සිනමාලොව පැතූසිතූ මිනක්
අප හැරදා වෙන්විය මොක්පුරයට දෙවිඳුන් ලැබදුන් නිසා අණක්
මුණසිංහ නිශ්ශංක
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව
0 Comments