Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රේමදාස මැතිඳුන් පොදු ජනයාගේ සිහින සැබෑ කර දීමට කැපවුණා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ප්‍රේමදාස මහතා එදා මට කීවේ ඇඟලුම් කම්හල් 100ක් මදි 200ක් හදමු කියලයි
-  ගුණසමරු උලෙළේ දී අගමැති කියයි

වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් පෞද්ගලික න්‍යාය පත්‍රයන් තුළ කටයුතු කරමින් ඔවුනොවුන්ගේ සිහින සැබෑ කරගැනීමට උත්සාහ කළ ද හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා‍ පොදු ජනතාවගේ සිහින සැබෑ කිරීම වෙනුවෙන් කැපවුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පොඩි මිනිසා වෙනුවෙන්, නැති බැරි මිනිසා වෙනුවෙන් සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් තුළ ප්‍රේමදාස මහතා කටයුතු කළ බව පවසන ජනපතිවරායා පොඩි මිනිසා, නැති බැරි මිනිසා වෙනුවෙන් පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් මහා යුග මෙහෙවරක් කළ යුග පුරුෂයෙනුබවද පොඩි මිනිසාගේ ප්‍රශ්න හඳුනාගත් දේශපාලන මතවාදයක් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය තේරුම් ගැනීමේ හැකියාවක් හැම විටම රාජ්‍ය පාලනයක තිබිය යුතු බවද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම නිමිත්තෙන් කොළඹ, අලුත්කඩේ අධිකරණය ආසන්නයේ පිහිටි රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියස දී ඊයේ (01) පෙරවරුවේ පැවැති සැමරුම් උත්සවය සඳහා සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් ප්‍රකාශ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා,

අපේ රටේ දේශපාලනයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පොඩි මිනිසා වෙනුවෙන්, නැති බැරි මිනිසා වෙනුවෙන් සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් තුළ කටයුතු කළ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ සමරමින් පවත්වන වැඩසටහනට එක්වන්න ලැබීම සම්බන්ධයෙන් සතුටට පත්වෙනවා. මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පවුලේ ඥාතීන්ට සහ ගුණසමරු කමිටුවට මගේ ස්තුතිය පිරිනමනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඇසුරු කළා. එතුමා සහ මා අතර එවකට හොඳ සබඳතා තිබුණා. ඒ මහතා පිළිබඳව මේ රටේ ජනතාවගේ හදවත්වල මතක සටහන් තිබෙන්නේ ඒ මහතා පොඩි මිනිසා, නැති බැරි මිනිසා වෙනුවෙන් පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් මහා යුග මෙහෙවරක් කළ යුග පුරුෂයෙක් විදියටයි.

අපේ රටේ වර්තමානයේ අපි දකින බොහෝ දේශපාලඥයන් තුළ තිබෙන ඔවුනොවුන්ගේ සිහින සැබෑ කරගැනීම නොව පොදු ජනතාවගේ සිහින සැබෑ කර ගැනීම සඳහා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කැපවුණා. අද අපේ රටේ දේශපාලනයේ දකින ප්‍රධාන ප්‍රශ්නය තමයි ජනතාවගේ සිහින සැබෑ කිරීම අමතක කොට තම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන් තුළ තම තමාගේ අනාගත දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක් අද වන විට මේ රටේ නිර්මාණය වී තිබෙනවා. ඒ තුළ බොහෝ දේශපාලන මතවාදීන් ලෙස යම් යම් ප්‍රශ්නවලට මුහුණ දී සිටිනවා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ එදා වැඩසටහන්, කළ කී දෑ සමඟ ඒ මහතා මුහුණ දුන් අභියෝග රාශියක් සම්බන්ධයෙන් මේ රටේ ජනතාවගේ හදවත් හි ඒ සිදුවීම් සහ තත්ත්වයන් සම්බන්ධයෙන් බොහෝ මතකයන් තිබෙනවා. පොඩි මිනිසුන් වෙනුවෙන් වැඩකරන්නට අවශ්‍ය සමාජ පරිවර්ථනයක් කරන්නට පොඩි මිනිසුන් අතරින් ගොඩනැඟුණු නායකයෙකු විදියට ප්‍රභූ පන්තියේ නොව, ධනේෂ්පර පවුල්වලින් නොව, පාරම්පරික දේශපාලන පවුල්වලින් නොව සැබෑ ලෙසම මිනිසුන් අතරින් බිහිවුණු නායකයෙකුට මුහුණ දෙන්නට සිදුවූ බරපතළ සිදුවීම් කිහිපයකට මුහුණ දෙන්නට ඒ මහතාට සිදුවුණා.

අවසානයේ එතුමා ඝාතනය කළා. මෙය මේ රටේ දේශපාලනය වගේම ලෝක දේශපාලනයේ අපි දැක තිබෙන දෙයක්. එවැනි චරිතවලට අත්වන ඉරණම සම්බන්ධයෙන් අපි දැක තිබෙනවා. එහෙත් ඒ සියල්ලෙන් අපි පාඩම් ඉගෙන ගත යුතු වෙනවා. මේ රටේ පොදු මහජනතාව අපිට ලබාදුන් වරම, අපිට බාර දුන් වගකීම්, අපි විසින් ඉටු කළ යුතු කාර්යයන් සියල්ල සඳහා අපි කැප විය යුතු වෙනවා.

2015 වසරේ ජනවාරි මස 8 දා සහ ඒ වසරේ අගෝස්තු මස 17 දා මේ රටේ ජනතාව අපි කෙරෙහි විශ්වාසයක් තබා අපිට බාරදුන් වගකීම අපිට පෙර පැවැති රජය වෙනස් කිරීමට මේ රටේ ජනතාවට තිබූ උනන්දුව සහ එය කිරීමේ අරමුණ තුළ අපිට මේ රටේ ජනතාව මේ වගකීම් බාර දුන්නේ කුමක් සඳහා ද යන්න සම්බන්ධයෙන් අපි පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. පෙර කළ වැරැදි නොකර වඩා යහපත් පාලනයක්, යහපත් සමාජයක්, පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක්, පොඩි මිනිසුන්ට ආදාරය කරන පාලනයක් පොඩි මිනිසාගේ ප්‍රශ්න හඳුනාගත් දේශපාලන මතවාදයක් වගේම සාමාන්‍ය ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය තේරුම් ගැනීමේ හැකියාවක් හැම විටම රාජ්‍ය පාලනයක තිබිය යුතු වෙනවා.

ඒ නිසා අපි රණසිංහ ප්‍රේමදාස මහතාගේ චරිතයත් ඒ මහතාගේ දර්ශනයත් එතුමාගේ දේශපාලන ජීවිතය තුළ මුල සිට අවසානය දක්වා කළ කී සියලු දෑ හරහා පෙන්නුම් කරන දර්ශනයන් තේරුම් ගත යුතු වෙනවා. මේ ගුණසැමරුම් දිනයක ගුණ සැමරීම මෙන්ම අපි යම් දේශපාලනඥයෙක්, විද්වතෙක්, සමාජ නායකයෙක්, ජතියට සේවය කළ කුමන හෝ චරිතයක් සම්බන්ධයෙන් කතාකරන විට ගුණ සමරන විට එහි වැදගත්කම වන්නේ අදට අවශ්‍ය දේ කුමක් ද එය අනාගතය සඳහා සකස් කර ගන්නේ කෙසේද කියන ආකාරයට අපි කැප විය යුතු වෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතාට මේ රටේ පොදු මහජන හදවත්වල තිබෙන ගෞරවය අපි නැවත සිහිපත් කරනවා. ඒ මහතා අපේක්ෂා කළ සමාජ කුමය තුළ පරිවර්ථනයක් කරමින් මේ රට ඉදිරියට ගෙනයන්නට කැපවීම්වලින් අපි පාඩම් ඉගෙන ගත යුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතාට නිවන් සුව අත්වේවායි පතනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගැන සහ විවිධ අංශ පිළිබඳ මට මතක් වෙනවා. එදා එතුමා මට කර්මාන්ත අමාත්‍යාංශය බාරදෙන්න තීරණය කළා. කර්මාන්ත සම්බන්ධයෙන් දන්න නිසා කර්මාන්ත අමාත්‍යාංශය බාර ගන්න කියා එතුමා එදා මට කිවුවා. මම ඒ අමාත්‍යාංශය බාරගෙන මේ රටේ පෞද්ගලික අංශයේ කර්මාන්ත වැඩි කොට රැකියා ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා අදාළ නීති ඉදිරිපත් කොට බදු සහන ලබාදුන්නා. ඒ වැඩකටයුතු කරගෙන යන ගමන් එක්තරා දවසක ජනාධිපතිවරයා මට කතා කළා. ගම්මාන ප්‍රදේශවල තවත් රැකියා නිර්මාණය කරන්න අවශය යැයි ඒ මහතා මට කිවුවා. අපි කඩිනමින් ඒවා කරන්න අවශ්‍ය බව කීවා. මගෙන් ප්‍රගතිය විමසුවා. මම ඒ සම්බන්ධයෙන් කිවුවා. මේක මදි මමත් අලුත් වැඩසටහනක් සම්බන්ධයෙන් හිතනවා කියා එතුමා මට කිවුවා. මම ඇහුවා ඒක මොකක්ද කියලා.

ඇඟලුම් කර්මාන්ත ශාලා හැමතැනම දාන්න ඕන කියා කිවුවා. කොහොමද ඒවා කරන්නේ කියා මම ඇහුවා. ඇඟලුම් කර්මාන්ත ශාලා සඳහා යටිතල පහසුකම් අවශ්‍ය නෑ. කටුනායක, බියගම වඟේ දහස් ගණන් තරුණ තරුණියන් මෙහේ එනවාට වඩා ගමේ රැකියා දෙන්න හැකි නම් හොඳයි කියා රණසිංහ ප්‍රේමදාස මහතා කිවුවා. එසේ නම් යටිතල පහසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. එවිට කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ. මේවා කල්යයි කියා මම කිවුවා. නෑ නෑ අපි මේ වැඩකටයුතු කරගෙන යමු. මේවා ආරම්භ කරමු කියා ඒ මහතා ආයෝජන මණ්ඩලය සහ සෙසු ආයතන සමඟ සාකච්ඡා කොට ආයෝජකයන් සඳහා අනුමැතිය දුන් පසුව මසක් ඇතුළත මේ සියලු කටයුතු අවසන් කළ යුතුයි කියා කිවුවා. අපි කර්මාන්ත අමාත්‍යාංශය හරහා කලාපීය කර්මාන්ත සේවා මධ්‍යස්ථාන ආරම්භ කර තිබුණා. ඒවා එකතු කරගෙන ප්‍රශ්න තිබෙනවා නම් ජනාධිපති කාර්යාලයට දැනුම් දෙන්න කියා කිවුවා.

ඒ අනුව මේ කාරණා සියල්ල සඳහා අනුමැතිය ලබාදෙන බැරි ඒවා පමණක් ජනාධිපති කාර්යාලට එවුවා. ඒ මහතා සති දෙකකට වරක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් ලබාදෙන්න ද ඒ මහතා පියවර ගත්තා. එලෙස ඇඟලුම් කර්මාන්ත ශාලා 100ක් ආරම්භ කළා. එය ඇති කරන ගමන් දේශීය කර්මාන්ත අපනයන කර්මාන්ත වගේම සංචාරක හෝටල් ඇති කරන්න කීවා. පසුව රණසිංහ ප්‍රේමදාස මහතා මට කතාකොට ඇඟලුම් කර්මාන්ත ශාලා 100ක් මදි ඉල්ලීම් තිබෙනවා 200 දක්වා එය වැඩි කළ යුතු වෙනවා කිවුවා. නමුත් එතුමාට එය අවසන් කරන්න නොහැකි වුණා. අන්තිම කර්මාන්ත ශාාලව අගමැතිවරයා වශයෙන් මම විවෘත කළා. එදා ඒ මහතා ගත් පියවර හේතුවෙන් නිෂ්පාදන ආදායම ඉහළ ගියා පමණක් නොව ගමට රැකියා ගේන්න ද හැකියාව ලැබුණා. කඳුකරයේ, වතුකරයේ, මුස්ලිම් ගම්මානවල ආදායම් මාර්ග ඇති කරන්න හැකියාව ලැබුණා.

අදත් අපි එවැනි අභියෝගයකට මුහුණ දෙනවා. මේ රටේ 2015 වසරේ ජනාධිපතිවරයා යටතේ අපි ආණ්ඩුවක් බාරගත්තා. එදා අපි කෙරෙහි විශ්වාසයක් තිබුණේ නැහැ. අපනයනය වෙළෙඳපලට යන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ අවස්ථා සියල්ල අපි ඇති කර ගත්තා. ජී.එස්.පී බදු සහනය යළි ලබාගන්නට අපිට අවස්ථාව ලැබුණා. ඒ වගේම අපි විශාල ලෙස ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගත්තා. දැන් අපිට ජාතික මෙන්ම විදේශීය ව්‍යාපාරිකයන් ඉන්නවා. එදා තිබුණු ප්‍රශ්නය අදත් තිබෙනවා. අනුමැතිය දුන්න ද අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා. එය විශාල ප්‍රශ්නයක්. ඒ නිසා අපි සාකච්ඡා කොට මේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට ගොස් මේ වැඩකටයුතු ආරම්භ කළ යුතු වෙනවා. ගම්මානවලට රැකියා දිය යුතු වෙනවා. තවත් රජයේ රැකියා ලබාදිය යුතු වෙනවා. රජයේ රැකියා මගින් පමණක් අපිට ඉදිරියට යන්න බැහැ.

පෞද්ගලික අංශයේ රැකියා ද ලබාදිය යුතු වෙනවා. ඒවායින් ආදායම් මාර්ග ඇති කළ යුතු වෙනවා. එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බැලුවේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේ ද කියලයි. සියලු දෙනාටම රජයේ රැකියා ලබාදෙන්නට නොහැකි නිසා පෞද්ගලික අංශයේ රැකියා ලබාදෙන්නට ක්‍රියාමාර්ග ගත්තා. අපේ යුතුකම ද එලෙස රැකියා ලබාදෙන්න පියවර ගන්නවා. ඒ වෙනුවෙන් නව ඇමැති මණ්ඩලයක් සමඟ අපි ඉදිරියට යනවා. අපිට මේ රටේ වෙනත් විකල්පයක් නැහැ.

අපිට දොස් කියන්න ඕන තරම් ඉන්නවා. හැමදාම මාධ්‍යයෙන් ද අපිට දොස් නඟනවා. නමුත් විකල්පයක් කවුරුත් ඉදිරිපත් කර නැහැ. කුමක් ද ඒ විකල්පය. ඒ එකක් හෝ නැහැ.

අපේ අඩුපාඩුකම් තිබුණා. ජනතාව අපිට පෙබරවාරි මාසායේ දී පණිවුඩයක් ලබාදුන්නා. මේ යන වේගය මදි. ලබාදුන් පොරොන්දු ඉටුකරන්න කියා එමඟින් කීවා. අන්න ඒ වැඩකටයුතු කරගෙන අපි ඉදිරියට ගමන් කරනවා. ඒ ආපේක්ෂාවෙන් අපි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා උදාහරණ ලෙස ගතයුතු වෙනවා. එතුමා සමඟ ළඟින් වැඩකරන්න මට අවස්ථාව ලැබුණා. ඒ මහතා අභාවයට පත්වීමෙන් අපිට විශාල පාඩුවක් සිදුවුණා. ඒ මහතාගේ උදාහරණ අරගෙන අපි ඉදිරියට යායුතුයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා.

කතානායක කරූ ජයසූරිය මහතා,

රණසිංහ ප්‍රේමදාස සමඟ මම වසර 30කට වැඩි කාලයක් ඉතා කිට්ටුවෙන් වැඩ කර තිබෙනවා. එතුමාගේ අපේක්ෂාවන් මම ඉතා හොඳින් දන්නවා. ජනතාවට සේවය කිරීමේ දී ඒ මහතා දී තිබෙන ආදර්ශය හා කැපවීම අද සිටින තරුණ දේශපාලනඥයන්ට හොඳ ආදර්ශයක් වෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා තම සේවය ඉටු කිරීමේ දී ජාති, ආගම්, දේශපාලන පක්ෂ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැහැ. රටේ දක්ෂ නිලධාරීන් සමඟ එක්ව රටට සේවය කරන්නට ඒ මහතාට හැකියාව ලැබුණා. පොකට්ටුව පිරුණොත් ජනතාවට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන කරුණ ප්‍රේමදාස මහතා දැනගෙන සිටියා. ජනතාවට රැකියා ලබාදුන්නා.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ දී අපනයන දියුණු වුණා. රටට කර්මාන්ත ආවා. ඔවුන්ට පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් මසකට වරක් සාකච්ඡා කළා. දක්ෂ පුද්ගලයින්ගෙන් ප්‍රයෝජන ලබාගත්තා. නැති බැරි අය ඇති හැකි අය කරන්න ඒ මහතාට සිහිනයක් තිබුණා. ඉදිරියේ දී නව රැකියා අවස්ථාවන් මෙන්ම කර්මාන්ත ඇති කරන්න වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. ඒ තුළ රටේ ජනතාව අතට මුදල් ලැබෙන තත්ත්වයක් ඇතිවෙනවා.

නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා,

මේ රටේ හඩක් නොමැතිව අනාථ වී සිටි පොදු ජනතාව වෙනුවෙන් දැවැන්ත හඩක් නඟා ජනතාවගේ දුකට විසඳුම් දෙන්නට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රටපුරා දැවැන්ත සංවර්ධන වැඩසටහන් ආරම්භ කළා. එතුමා දවසේ පැය 24 ම කැප කළේ රටේ ජනතාවට සේවය කරන්නයි. අද දිනය පුරා ඒ මහතාගේ ගුණසැමරුම වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගත් පවුල් 2,721 වෙනුවෙන් සහන ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2,308ක් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබා දෙනවා. අංග සම්පූර්ණ නිවෙසක් නොමැති පවුල් 326 ක් වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස ලබා දෙනවා.

පසුගිය දා නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට රුපියල් ලක්ෂ 35 බැඟින්වූ නිවසක් ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා. ඒ වගේම වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සේවය කරමින් දේශපාලන වශයෙන් පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින් 81 දෙනෙකු සඳහා ද සහන ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ නායකත්වය, ශක්තියෙන් පවුල් 2,721 ක් වෙනුවෙන් මෙලෙස සහන ලබාදෙන්නට හැකියාව ලැබී තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නිවාස විප්ලවය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව හොඳින් දන්නවා. ඒ විපල්වය අදත් ක්‍රියාත්ම කරන්නට වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ශක්තිය ලැබී තිබෙනවා.

අද වන විට යහපාලන රජයේ නායකත්වය යටතේ උදා ගම්මාන 702ක් ස්ථාපිත කරන්නට කටයුතු කර තිබෙනවා. 2020 වන විට උදා ගම්මාන 2500ක් ඉදි කිරීම අපේ අපේක්ෂාව වෙනවා. එය එසේ කරන්නට නම් මේ වසරේ සහ ලබන වසරේ දී උදා ගම්මාන 1798ක් ඉදි කළ යුතු වෙනවා. කෙසේ හෝ මේ උදා ගම්මාන වැඩසටහන ඉදි කරන බවට දිවුරා පොරොන්දු වෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ශක්තිමත් ලෙස මේ රජය ක්‍රියාත්මක කරනවා. දූෂණයෙන් හා වංචාවෙන් තොරව ජනතාවට දැනෙන සංවර්ධනයක් ක්‍රියාත්මක කරන්නට අපි පියවර ගන්නවා. ජනතාවට දැනෙන සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දැනටමත් යහපාලන රජය පියවර ගෙන තිබෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කළ පොඩි මිනිසාට සහන ලබාදීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අද වන විට පොහොර සහනාධාරය ලබාදෙනවා.

මේ රටේ ජනතාවගේ අපේක්ෂාව වී තිබෙන්නේ 2015 ජනවරම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමයි. තනතුරු තාවකාලිකයි. මේ හැම දෙයක්ම සර්ව ජන ඡන්ද බලයෙන් තීරණය කරනවා. ජනතාවගේ ස්වෛරීත්වය, පරමාධිපත්‍ය බලය අවබෝධ කරගත යුතු වෙනවා. අපේ සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ ජනතාවගේ හද ගැස්ම තුළයි. ජනතාව සතුටු වුණු තැනක දේශපාලන ගමනේ ආයු කාලය දීර්ඝ වෙනවා. ජනතාවගේ අපේක්ෂා භංගත්වයට ලක් වුණු තැන දේශපාලන ගමන කෙටි වෙනවා. 2015 දී අපි නිර්මාණය කළ විප්ලවය එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිඳහස් පක්ෂ ජාතික ආණ්ඩුව තුළ ක්‍රියාත්මක කරගෙන යන සංවර්ධනය තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නව ලිබරල්වාදය කිසිදා පිළිගත්තේ නැහැ. නැතිබැරි අය ඇති හැකි අය කරන්න කැපවී ක්‍රියා කළා. ඒ මහතාගේ සමාජ සාධාරණත්ව ක්‍රමවේදය අදටත් සත්‍යයක් වෙනවා.

විදේශ රටවල් සමඟ හොඳින් ගනුදෙනු කළා. ජනසවිය සඳහා විදෙස් සංවිධානවල ආධාර ලබාගත්තා. නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙන්නට ක්‍රියාමාර්ග ගත්තා. මේ රටේ දිස්ත්‍රික්ක 25 සඳහාම අලුතින් චෛත්‍ය ඉදි කරන්න මේ වන විට පියවර ගෙන තිබෙනවා. මගේ පියාගේ උපන් දිනය වන එළඹෙන ජූනි මස 23 දා වනවිට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. රජය රැක ගන්නවා වගේම අපි ජනතාවට සහන ලබාදිය යුතුයි. ඇතැමුන් විවිධ උප්පරවැට්ටි දමමින් රජය යන ගමන අඩාළ කරන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම රජය ආරක්ෂා කරගන්න දිවි හිමියෙන් කැපවෙනවා.

විවිධ කණ්ඩායම් කුමන්ත්‍රණකාරී ලෙස බොරු ප්‍රචාර ගෙනයමින්, කට කතා පතුරුවමින් මේ රජය දෙකඩ කරන්න උත්සාහ ගන්නවා. ඒවා පරාජය කරන්නට අවශ්‍යයි.

එදා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට ද විවිධ චෝදනා එල්ල වුණා. ඒ ආකාරයටම වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද මඩ ප්‍රචාර එල්ල වෙනවා. බොරුවෙන් රජවන්නට ඇතැමුන් උත්සාහ කරනවා. ඒවා පරාජය කර මේ ගමන ශක්තිමත්ව අපි ඉදිරියට යනවා. මම ගැනත් විවිධ මත මේ වන විට ඉදිරිපත් වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ආරක්ෂා කරගනිමින් මේ ජාතික රජය ඉදිරියට ගෙන යෑම මගේ අපේක්ෂාව වෙනවා. මම රජය වෙනුවෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙනුවෙන් කකුලක් ඉදිරියටත් කකුලක් පිටුපසටත් තියන්න සූදානම්.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා,

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා මේ රටේ ආරම්භ කරන ලද ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහන අපේ රටට ඉතාම වැදගත්. එමඟින් මේ රටේ ඈත පිටිසර ගම්මානවල තරුණ තරුණියන්ගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගනිමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට හැකියාව ලැබුණා. ශ්‍රී ලංකාවේ සමඟිය ඇති කරන්නට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කැපවීමෙන් ක්‍රියා කර තිබෙනවා. නොබෙදුණු රටක් වෙනුවෙන් ඒ මහතා හැමවිටම කතා කර තිබෙනවා. ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. අපේ රට එක්සත් කරන්නට දැඩි සේ කැපුවුණු නායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සේවය අපේ රටේ අනාගතය වෙනුවෙන් ආදර්ශයට ගතයුතු වෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ලගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥානරතන, රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන ප්‍රේමසිරි, අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිවරුන් විසින් මේ අවස්ථාවට පණිවුඩ එවා තිබිණි. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ 25 වැනි ගුණසැමරුම් උළෙලේ දී කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුව වෙත මල්දමක් දමා උපහාර පිරිනැමූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහත්වරුන් ඇතුළුව ප්‍රේමදාස මහතාගේ පවුලේ ඥාතීහු පිළිරුව අබියස මල් කලඹ තබා උපහාර පිරිනැමූහ.

ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් සඳහා සහන සැලසීම, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුට රුපියල් ලක්ෂ 35 බැගින්වූ නිවාස ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිණි.

කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි, ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමිවරුන් ද, ඇමැතිවරුන් වන පී.හැරිසන්, චන්ද්‍රනී බණ්ඩාර, දයා ගමගේ, රංජිත් මද්දුම බණ්ඩාර, සාගල රත්නායක, ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා, රවීන්ද්‍ර සමරවීර, නවීනි දිසානායක, තලතා අතුකෝරාල, රවුෆ් හකීම්, කබීර් හසීම්, ඒ.එච්.එම් ෆවුසි, දිලිප් වෙආරච්චි, රුවන් විජයවර්ධන, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිරෝෂන් පෙරේරා, ඩී.එම් ස්වාමිනාදවන්, නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් මාන්නපෙරුම, විජේපාල හෙට්ටිආරච්චි, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, බන්දුලලාල් බණ්ඩරිගොඩ, ලකී ජයවර්ධන, මුජිබර් රහුමාන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ


 

ඡායාරූප- සමන් ශ්‍රී වෙදගේ සහ ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();