Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමට ග්‍රාමශක්ති ව්‍යාපාරය අරඹනවා

Author(s): 
ජයසිරි මුණසිංහ

දිළිඳුබවින් තොර ගමක් බිහි කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී ග්‍රාම නිලධාරි වසම් 1000ක ජනතාව සවිබල ගැන්වීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ පළමු අදියරේ වැඩ ආරම්භ කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික මට්ටමින් දැනටමත් ක්‍රියාත්මක ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීමේ විවිධ වැඩසටහන් හා ඒකාබද්ධ වූ පුළුල් ජාතික ව්‍යාපාරයක් ලෙස ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාවට නැංවෙන බව ද ජනාධිපති ලේකම්වරයා කීය.

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපති ලේකම්වරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා, වසර 2015 ජනවාරි 08 බලයට පත් වත්මන් ආණ්ඩුව, වසර 2020 වනකම් තවදුරටත් ඉදිරියට යනවා. මේ කාලය තුළ අප රටේ දිළිඳුකම පිටුදකින්න තිරසාර වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කිරීම යටතේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ආරම්භ කළා. මේ ව්‍යාපාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව බිහිවූ එකක්.

අපි, දැනටමත් අමාත්‍යාංශ ගණනාවක් මේ අරමුණ ජයගන්න වැඩ කරනවා. ඒවා සියල්ලත් එක්ක එක්වී ග්‍රාම ශක්ති ව්‍යාපාරය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මකයි. ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයින් සඳහා වූ ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණය, වකුගඩු රෝග නිවාරණය, අඩු ආදායම්ලාභින්ගේ ආදායම් වැඩි දියුණු කිරීම ආදි ව්‍යාපෘති මේ අතර වෙනවා.

අපේ අරමුණු ආර්ථික අතින් ශක්තිමත්, පුද්ගලයෙක්, පවුලක්, ගමක්, බිහිකිරීමයි. එහිදී සාරධර්ම, ගුණධර්මවලින් පිරි පිරිසක් බවට ඔවුන් පත්කිරීමටත් මෙහිදී මූලිකත්වය ලබාදී තිබෙනවා.

වසර 2017, දිළිඳුකම පිටුදැකීමේ ආරම්භක වසර ලෙස ජනාධිපතිතුමා නම් කළා. ඒ යටතේ වසර 2015ට පෙර ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක නොවූ ජාතික වැඩසටහන් රැසක් අපි ආරම්භ කළා. අපි ඒවා පිළිබඳව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම, මැති ඇමැතිවරයකුම දැනුවත් කළා. ඒවාගේ පළාත් සභාවල, ප්‍රාදේශීය පළාත් පාලන ආයතනවල අය, රජයේ නිලධාරින් දැනුවත් කළා. ඉහළ සිට පහළටම මේ දැනුවත් කිරීම් කළා.

රටේ සාමාන්‍ය ජනතාව ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය තුළින් බලගැන්වීමට අපි අවශ්‍ය මුදල්, දැනුම, තාක්ෂණය ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමට ජනතාව පෙලඹවීම කළ යුතුයි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා,

රජය කරගෙන යන සංවර්ධන වැඩසටහන් රාශියක් තිබෙනවා. විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන මේ සියල්ල එකට එක්වී වැඩ කරනවා. නමුත්! මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් වඩාත් පලදායි, කාර්යක්ෂම අයුරින් ග්‍රාම ශක්ති ව්‍යාපාරය ‍ඉදිරියට ගෙනයාමයි අපට අවශ්‍යය. ඒ සඳහා ඉදිරි වැඩසටහන් සැලසුම් කොට තිබෙනවා.

ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා,

අඩු ආදායම්ලාභී දුප්පත්ම ජනතාවක් ජීවත්වෙන ග්‍රාම නිලධාරි වසම් 1000ක් නගාසිටුවීමට අපි සූදානම්. මේ ගම්මාන 1000න් 700ක් දුප්පත්ම ජනතාවක් ජීවත්වෙන ඒවා. වසම් 300ක් නිෂ්පාදන ගම්මාන ලෙස දියුණු කළ හැකි ඒවායි. අපි මේ වැඩසටහනට අවුරුද්දෙන් අවුරුද්ද එකතු කරන ගම්මාන ගණන වැඩි කරනවා. 2019 – 2020 තුළදී ගම්මාන 5000ක් මේ වැඩපිළිවෙළට දායක කර ගන්නවා. ඒ අතරේ මුළු ගම්මාන 14000ම එක් කිරීමටත් සැලසුම් සකස් කරනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම දුප්පත්ම ග්‍රාම නිලධාරි කොට්ඨාස මුලින්ම දියුණු කරනවා. මේ සඳහා රජයේත්, පෞද්ගලික අංශයේත්, ප්‍රජාවගේත් සහයෝගය ලබාගන්නවා. මේ කටයුතු ජාතික මෙහෙයුම් කමිටුවක්, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා බැඳුණු මෙහෙයුම් කමිටු ජාලයක් යටතේ ක්‍රියාත්මක කරනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, ග්‍රාම ශක්ති අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. කේ. කේ. අතුකෝරාළ යන අයද එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();