මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සැලසුම් හා සංවර්ධන) ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනියේ සභාපතිනිය ලෙස ඊයේ (17) පෙරවරුවේ සිය රාජකාරි ආරම්භ කරන ලදී. ස්වාධීන රූපවාහිනි ආයතනයෙහි සභාපති ලෙස කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ද මෙය වේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇය මෙම පත්වීම ලැබීමට පෙර රාජ්‍ය ආයතන රැසක සහකාර ලේකම්, අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල්, අතිරේක ලේකම් යන ධූරයන්හි කටයුතු කර ඇති නිලධාරිනියකි.
වනිතා කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රාජකාරී ආරම්භ කළ ඇය පසුව ජාතික ශිල්ප සභාවේ මෙන්ම මෝස්තර ශිල්ප සභාවේ අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරමින් එම ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටුකරනු ලැබීය. තවද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ තිලකා ජයසුන්දර මහත්මිය කම්කරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැලසුම්, සංවර්ධන හා පර්යේෂණ) ධූරයෙහි ද ජාතික ඵලදායීතා කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙහි ද ඉන් අනතුරුව ආසියානු ඵලදායීතා සංවිධානයේ ශ්‍රී ලාංකික ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.
දේශීය විදේශීය ජයග්‍රහණ රැසක් දිනාගත් ජයසුන්දර මහත්මිය ජපානයේ ටොකියෝ ආසියානු ඵලදායීතා සංවිධානයේ කර්මාන්ත අධ්‍යක්ෂ තනතුරට පත්වූයේ ආසියාවේ අවුරුදු 56කට පසුව පළමු ජපන් ජාතිකයෙකු නොවන විදේශික ජාතිකයෙකු එම තනතුරට පත් වූ ප්‍රථමයා ලෙස සුවිශේෂි වාර්තාවක්ද තබමිනි.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් රැසක් ලබා ඇති ඇය ආසියානු - පැසිපික් කලාපයේ රටවල ඵලදායීතා ප්‍රවර්ධන සම්පත්දායිකාවක් ලෙස ද කටයුතු කරනු ලබයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සම්මාන සමාර්ථයක් සහිත සිය ප්‍රථම උපාධිය සම්පූර්ණ කළ ජයසුන්දර මහත්මිය පශ්චාත් උපාධි කිහිපයක්ම ලබාගනිමින් සිය ආචාර්ය උපාධියේ අධ්‍යයන කටයුතු ද ආරම්භ කර ඇත. රාජ්‍ය කළමනාකරණ පිළිබඳ විද්‍යාවේදී උපාධිය, වරලත් ගණකාධිකාරී පාඨමාලාව, තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධිය සහ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ද හිමිකර ගැනීමට ජයසුන්දර මහත්මිය සමත්ව ඇත.
නව සභාපතිවරිය සිය රාජකාරි ආරම්භ කරන අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, ස්වාධීන රූපවාහිනි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරින් පිරිසක් එක්වූහ.


0 Comments