Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඛණ්ඩව විදුලිය ලබා දෙන්න මිශ්‍ර ජනන සැලැස්මක් අවශ්‍යයි

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

පරිසරයට මෙන්ම පිරිවැය පැත්තෙන්ද හිතකර මිශ්‍ර ජනන සැලැස්මක් අඛන්ඩ විදුලිය ලබාදීම වෙනුවෙන් අපට අවශ්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය.

අද ලොව සැම තැනකම ඇත්තේ මිශ්‍ර ජනන සැලැස්මක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ දිවයින පුරා ඇති සියලූම විදුලි බලාගාර සහ විදුලි ග්‍රිඩ් උප පොළවල ඇති දත්ත පාලනය කළ හැකි ශ්‍රී ජයවර්ධනපුර නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පෙරේදා (16) පස්වරුවේ විවෘත කෙරිණු උත්සව අවස්ථාවට එක්වෙමිනි.

පීත්ත පටිය කැපීමෙන් අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි පාලන මැදිරියේ කටයුතු ද නිරීක්ෂණය කළේය.

ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධති මෙහෙයුම් කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලමින් ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවාවක් ලබාදීමේ අරමුණෙන් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ රුපියල් බිලියන 03ක වියදමින් මේ මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

මේ නව පද්ධති පාලන මැදිරියට මෙරට විදුලි බලාගාර 25ම සහ විදුලි ග්‍රිඩ් උප පොළවල් 63ම දත්ත එම මොහොතේම සජීවීව බලා ගැනීමේ හැකියාව පවතී.

කලින් පැවැති පද්ධති පාලන මැදිරියෙන් එම පහසුකම පැවතියේ විදුලි බලාගාර 15ක් හා විදුලි උප පොළවල් 35ක පමණි.

සෑම සම්ප්‍රේෂණ රැහැනකම ගලායන ධාරාව, විදුලි බලාගාරවල ජනනය කරන ප්‍රමාණයන් සහ විදුලි බලාගාරවල ජලාශවල ජල මට්ටම පිළිබඳව, පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙමගින් ඉතා හොද දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

එමෙන්ම දෛනිකව ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ දී වැයවන පිරිවැය අවම වන අයුරින් ජනන සැලසුම සැකසීමට පද්ධති පාලන ඉංජිනේරුවරයාට මෙය උපකාරි වෙයි. එමගින් විදුලි ජනනයට යන වියදම අවම කර ගැනීමට හැකියාව පවතී. සම්ප්‍රේෂණ පද්ධතිය කළමනාකරණය හා පාලනය කිරීම වඩා විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් ඉටුකිරීමට ද මෙමගින් හැකියාව පවතී.

එහි දී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

අපි සියයට සීයක් විදුලිය දුන්න රටක් කියලා අද සතුටු වෙනවා. මම දැක්කා මහ බැංකු වාර්තාවේ තිබෙනවා අනු නමයයි දශම පහක් කියලා. මම හිතනවා ඊටත් වැඩියි ජනාධිපතිතුමනි. මොකද ඔබ තුමා විෂය පවරපු අමාත්‍යවරයා විදියට විදුලිය ඉල්ලගෙන මාව හම්බවෙන්න කිසිම කෙනෙක් දැන් එන්නේනෙ නැහැ. අපි දන්නවා අපේ රටේ අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා නම් විදුලි බල අමාත්‍යවරයා වෙන්න ඕන නැහැ, සාමාන්‍ය පළාත් සභා‍ මන්ත්‍රීවරයෙක්ගෙත් වැඩිම ඉල්ලුම ඇතිවුනේ විදුලි බලයෙන්. හැබැයි මම විශ්වාස කරනවා අනුනමයියි දශම පහ නෙමෙයි අනු නමයයි දශම හතක් අටක් අද විදුලිය අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි පැය විසිහතරම විදුලිය ලබාදෙනවා. ඒකත් ඉතාම වැදගත්. විනාඩි කිහිපයක් විදුලිය නැතිවුනොත් ඇතිවන තත්ත්වය අපි දන්නවා. ඉතින් ඒ වගකීම දරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය. විදුලිය ජනනය සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම. ජනනය සහ සම්ප්‍රේෂණයට ඉතාම වැදගත්වු ස්ථානයක් තමයි මේ පද්ධති පාලන මධ්‍යස්ථානය. අපි සන්තෝෂවෙනවා එක ස්ථානයකින් සියල්ල පාලනය කළ හැකි මධ්‍යස්ථානයක් අද විදුලිබලය පැත්තෙන් මේ රටට ලැබිලා තිබෙනවා. 1983 ආරම්භ කරලා අපිට ති‍බුනේ බොහෝම පැරණි දුරකථනයෙන් තොරතුරු අහුලාගෙන තීන්දු ගන්න තිබුණ අවස්ථාව අද හුගක් වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශාල සතුටක් ඒ සම්බන්ධව භුක්ති විදිනවා. මේ දවස්වල ජනමාධ්‍ය සහෝදරයන් මාව හමුවෙලා ගොඩක්ම අහන්නේ ජනාධිපතිතුමනි විදුලි බිල වැඩිකරන්නේ නැද්ද කියලා. ඒක තමයි මේ දවස්වල තිබෙන ජනප්‍රියම ප්‍රශ්නය. අපි ඒකට එච්චර කලබල වෙන්නේ නැහැ. හැමදාම ජනතාව පැත්තෙන් හිතලා තීන්දු ගන්න නායකයෙක් යටතේ අපි ඉන්නේ. ඔබතුමා ඒ තීන්දුවල දී දක්වන සුවිශේෂී කැපවීම වෙහෙස ජනතාවාදී බාවය අපි දන්නවා. හැබැයි ජනතාවට අපි කියන්න ඕන විදුලිබල මණ්ඩලය ගැන. අපි පහු කරපු අවුරුද්ද විදුලිබල මණ්ඩලයේ දුෂ්කරම අවුරුද්ද. සියයට විසිහයටත් අපේ වතුර ප්‍රමාණය බැස්සා අපි හැබැයි ලයිට් දුන්නා. බිල වැඩි කරෙත් නැහැ. මහා භාණ්ඩාගාරයෙන් කැබිනට් මණ්ඩලයේ දී මට රුපියල් බිලියන හැටක් දෙන්න පොරොන්දු වුනා ඒ අඩුව වෙනුවෙන්. අපි ගත්තේ පහයි. ඒ පහත් අපි ඊට කලින් අවුරුද්දේ ලාභයෙන් දීලා තිබුණා. අපි මේක කළමනාකරණය කරා. ඒ විදුලිබල මණ්ඩලයේ වෙනස අලාභයක් කියන්න බැහැ. ආපදාවල් සඳහා අපි ආපදාසමයක දී විදුලිය ලබාදීමට කරපු අමතර වියදමක්. මම දැක්කා සමහර ඒවායේ ඒ අමතර වියදම අලාභයක් කියලා, ඒක කොච්චර සාධාරණද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි අද තත්ත්වය කතා කළොත් විදුලිබල මණ්ඩලය තමයි මේ රටේ තිබෙන ඉතා ඉහළම ජනතාව වෙනුවෙන් සේවා සපයන හදවතින් වැඩකරන ආයතනය. අපේ සාමාන්‍ය විදුලිය නිෂ්පාදන පිරිවැය තෙල් මිල වැඩි කරන්න පෙර රුපියල් විස්සයි සත දහතුනයි ඒකකයක් නිෂ්පාදනය කරන්න. අපේ සාමාන්‍ය අලෙවි මිල රුපියල් දහසයයි සත හතරයි. අපි හැම ඒකකයක්ම රුපියල් හතරයි සත නමයක් අපේ නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් තමයි අලෙවි කරන්නේ. ඒකයි මම කිව්වේ ලංකාවේ තිබෙන ඉහළම සුබ සාධන ආයතනය. අපි ඒකක තිහට වඩා අඩුව පාවිච්චිකරන කුඩාම පාරිභෝගිකයාට අඩුම ආර්ථික ශක්තිය තිබෙන පාරිභොගිකයාට මේ රුපියල් විස්සට නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් විකුණන්නේ රුපියල් දෙකයි සත පනහට. ඊළගට ඒකක තිහේ සිට හැට දක්වා පාවිච්චිකරන කෙනාට අපි විකුණන්නේ රුපියල් හතරයි සත අසූපහට විස්සට නිෂ්පාදනය කරන ඒකකයක්. ඒකක හැටට වඩා පාවිච්චිකරන කෙනාට හතයි සත පහළොවට අපි විකුණනවා. ඒ කියන්නේ අපේ විදුලි පාරිභොගික සංඛ්‍යාව ලක්ෂ හැට හතක් එයින් පනස් නමයක්ම නිවාස. මේ පනස් නමයෙන් සියයට හතලිස් හතරකට ජනාධිපතිතුමනි මේ රුපියල් විස්සට නිෂ්පාදනය කරන විදුලිය අපි විකුණන්නේ රුපියල් දහයකට වඩා අඩුවෙන්. කර්මාන්ත කරුවන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට අපි මේ සහනය ලබාදීලා තිබෙනවා. විදුලිබල මණ්ඩලය ලංකාවේ ඉහළම සුබසාධනය ලබාදෙන ආයතනය බවට පත්වෙලා තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා -

මේ ආයතනය පිළිබඳ ඉතිහාසයටත් මටත් පුංචි පංගුවක් තිබෙනවා ඉංජිනේරුවෙක් නොවුනත්. අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිවරයාව වැඩ කරන අතරතුර 2016 මාර්තු මාසේ 10 වෙනිදා සැන්දෑ වරුවේ එකවරම බරපතළ විදුලි බිඳ වැටීමක් මේ රටේ සිදුවුණා. තොරතුරු අහල බලන කොට වැඩේ බරපතළයි මම ඉක්මනින්ම විමසා සිටියා එවකට සිටිය සාමාන්‍යාධිකාරීතුමාගෙන් එතුමා කිව්වා මමත් යනවා දෙමටගොඩ තිබෙන අපේ පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානයට කරන දෙයක් එතන ඉදගෙන තමයි කරන්න තිබෙන්නේ කියලා. මම දැනන් හිටියේ නැහැ ඒ මධ්‍යස්ථානය ගැන මම එතනට ගියා. අපේ ඉංජිනේරු මහත්වරු ටෙලිෆෝන් කනේ ගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඉතාම ප්‍රාථමික ස්වභාවයේ තිබෙන පද්ධතියක් මගේ ඇහැට පෙනෙනවා. මොකද මම ලෝකයේ නවීනත්වය දැනන් හිටියා විදුලිපද්ධතිය ගැන එතරම් අවබෝධයක් නැතිවුනාට. මම එයට මැදිහත් නොවී ධෛර්යය දෙමින් මට මතකයි මම ඔවුන්ගේ මහන්සිය දකලා ඔවුන්ට පීසා ගෙනැත් දෙන්න කිව්වා මගේ වියදමින්. පැය පහක් හයක් ගිහිල්ලා අපි පද්ධතිය ගොඩ දාගත්තා. ගරු ජනාධිපතිතුමත් විමසුවා කොහෙද ඉන්නෙ කියලා මම කිව්වා පද්ධති මධ්‍යස්ථානයේ කියලා එතකොට ඔබතුමා හිටියේ කෑගල්ලේ. එතකොට ඔබතුමාට එන්න වෙලාවක් නැහැ. අගමැතිතුමාත් දැනුම් දුන්නා මම කිව්වා ඉන්නේ මධ්‍යස්ථානයේ කියලා. අගමැතිතුමා කොයිකටත් කියලා ආරක්ෂක නිලධාරීන්ට කතා කරලා පරික්ෂා කරලා තිබුණා ඇත්තටම ඉන්නේ එතනද කියලා. විවිධ දේවල් කියන නිසා. මගේ ජීවිතයේ ස්කාඩා කියන වචනය ඇහුව්වේ එදා. මේකෙ තිබෙන බරපතළකම තේරුම් ගත්තේ එදා. මම ඒ අවස්ථාවේ විමසුවා අපිට මිට වඩා නවීන මධ්‍යස්ථානයක් තිබෙන්න ඕන නැද්ද අපි සියයට සීයක් විදුලිය මේ රටට සපයන්න තිබෙන ආයතනයක්. අපේ රට මධ්‍යම තත්ත්වයේ ආදායම් ලබන රටක් බවට පත්වෙන්න තව වසරයි දෙකයි තිබෙන්නේ. අපේ රටේ ඉතාම දක්ෂ ඉංජිනේරුවෝ ඉන්නවා. අපේ රට තුළ මීට වඩා නවීන පද්ධති පාලන මධ්‍යස්ථානයක් තියෙන්න ඕන නැද්ද කියලා මම සාමාන්‍යධිකාරී මහත්වරුන්ගෙන් හා අනෙකුත් මහත්වරුන්ගෙන් විමසුවා. මට කිව්වා නැහැ මෙහෙම දෙයක් පටන් අරන් තිබෙනවා. ඔබතුමා කියන්න කලින්අපි පටන් අරන් තියෙන්නෙ. මම කිව්වා මොකෝ තාම නැත්තේ. මට කිවිවා ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ඉස්සරහ ඔය තැන තිබෙන්නේ කොන්ත්‍රාත්කාර සමාගම් වැඩේ අත්අරැලා දාල වගේ තිබෙන්නේ සියලු ඉදිකිරීම් පැත්ත ඉතාම නරකයි අපිට ලොකු ප්‍රශ්නයක් මේක. ඒ වගේම පද්ධතිය බිඳ වැටීම අපේ රටේ මධ්‍යම පාන්තික සමාජයට අපේ රටේ දැන උගත් ජනතාව කිසිසේත්ම දරන්නේ නැහැ. මම ඉතාම සතුටු වෙන්නේ ජනාධිපතිතුමා අතින් අපේ සම්ප්‍රේෂණ පද්ධතියේ අම්බලන්ගොඩ තිබෙන උපකරණයක් මේ ජයවර්ධනපුර මධ්‍යස්ථානයේ ඉදලා අපට විවෘත කරන්න පුළුවන් වුනා ස්වයංක්‍රීයව. ඒක ලොකු සතුටක්. ප්‍රමාදයක් තිබ්බත් අපේ පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතියට සකස්වෙනවා දකින එක අපිට සතුටක්. ජනාධිපතිතුමනි අකලට වැසි වැස්සට හරි තැනට හරි වෙලාවට වැසි වසින්නේ නැහැ.

අපේ ජලාශ ප්‍රදේශවලට හරියට වැසි වසින්නේ නැහැ. අපේ කෘෂිකාර්මික ප්‍රදේශවලට හරි වෙලාවට වැසි වසින්නේනැහැ. ඒක ලෝකයේම තිබෙන ප්‍රවණතාවයක්. මේ ප්‍රවණතාවයට මුහුණ දෙන්න නම් අපි අපේ රටේ විදුලිබල පද්ධතිය නවීකරණය කර ගත යුතු වෙනවා. අපි ඔබතුමාට කියන්න සතුටුයි වැසි කළමනාකරණය පිළිබඳව විදුලිබල මණ්ඩලයේ නායකත්වය දීලා ඔබතුමාගෙත් නායකත්වය අනුමැතිය ඇතිව තායිලන්ත රජය සමඟ අපි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ස්තුතිවන්ත වෙනවා සාමාන්‍යධිකාරීතුමාට සුවිශේෂී උනන්දුව පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ වැසි කළමනාකරණය හරහා වැසි කළමනාකරණ තාක්ෂණය අපේ රටට හඳුන්වා දීම හරහා මේ අකලට නොගැලපෙන වැසි නිසිලෙස කළමනාකරණය කරලා අපේ විදුලිබල පද්ධතියේ තිබෙන ජල විදුලි පද්ධතිය වඩාත් ශක්තිමත් කරන්න හැකියාවක් ලැබෙයි කියලා. මෙය ඉදිරි මාස කිහිපය තුළ යථාර්ථයක් බවට පත් කර ගන්න ආරම්භ කරන්න ඉදිරි වසර කිහිපය තුළ ඒ තාක්ෂණය අපි අත්පත් කරගෙන ඒ තාක්ෂණය අපේ රටට ගැලපෙන පරිදි වැසි කළමනාකරණය කරන්න අපි කටයුතු කරනවා කියන කාරණය ඔබතුමාට සතුටින් දැනුම් දෙනවා. විදුලිබල මණ්ඩලය ඒ තාක්ෂණය අත්පත් කර ගත්තාම පොළොන්නරුවටත් අනුරාධපුරයේ ගොවි ජනතාවටත් ඒ ප්‍රයෝජනය ලැබෙනවා කියන කාරණය ඔබතුමාට සතුටින් කියන්න කැමැතියි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහතා

ශ්‍රී ලංකාව විදුලිබලයෙන් ස්වයංපෝෂිත කිරීමේ ජාතික කාර්ය භාරයට නිරතවෙමින් රජයේ විදුලි වැඩ දෙපාර්තමේන්තුව වෙනුවට 1969 නොවැම්බර් මස 01වන දින සිට ලංකා විදුලිබල මණ්ඩලය සංස්ථාගත කරමින් පසුගිය අඩසියවසකට ආසන්න කාලපරිච්ඡේදය තුළ ලංකා විදුලිබල මණ්ඩල‍ය ගමන් කළ ජයග්‍රාහී ගමනක ස්වර්ණමය දිනයක් ලෙස අද දවස හදුන්වා දෙන්නට පුළුවන්. මේ කෙටි කාලය තුළ අප රටේ වෙසෙන සියලු පුරවැසියන්ට සැමට සැමදා විදුලි පහසුකම ලබාදීමේ දකුණු ආසියාවේ වාර්තාගත සිද්ධියක් අද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු යැයි මා සිතනවා. එදා මෙදා තුර බලයේ සිටි සියලුම රජයන් විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජනය කිරිමෙහි ප්‍රමුඛතාව ලබා දීම මෙම දැවැන්ත යටිතළ පහසුකම රටට අත්පත් කර දීම සඳහා හේතුවු බව අප කෘතවේදීව සිහිපත් කළ යුතුයි. විදුලිය ප්‍රතිශතය සියයට සීයක් කරා ලංවු පද්ධතියක් ඒ වගේම ජලය ගල් අගුරු සුර්ය බලය තාප ඉන්ධන සුළ බලය සහ වෙනත් බල ශක්ති ප්‍රබවයන් සම්මිශ්‍රණය වු පද්ධතියක් දවසේ ගතවන තත්පරයක් පාසා තුළනාත්මකව කාර්යක්ෂමව පවත්වා ගෙන යාම ඉතා අසීරු කාර්යයක්.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී. ගනේගල, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.කේ.සමරසිංහ යන මහත්වරුන්, අමාත්‍යංශයේ සහා ඊට අදාළ ආයතනවල උසස් නිලධාරීන් සේවක මහත්ම මහත්මීන්, විදේශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();