බංකොළොත් වී තිබුණු ආර්ථිකයක් සමඟ ආණ්ඩුව බාර ගත්ත ද සෞඛ්‍යයට හා අධ්‍යාපනයට ලබාදෙන මුදල් තව තවත් වැඩි කරමින් මෙරට ආර්ථිකය ස්ථාවර කර ණය ගෙවීම ආරම්භ කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අරලියගහ මන්දිරයේ පැවැති ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව ඊයේ (17) ප්‍රකාශ කෙළේය.
තවදුරටත් අගමැතිවරයා මෙසේද පැවැසුවේය.
වත්මන් ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කරමින් ණය ගෙවීම ආරම්භ කළා. මේ වන විට ඩොලර් මිලියන 2500 ක ණය මුදලක් ගෙවා අවසන් බව කිවයුතුයි.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ෆ්ලොරෙන්ස් නයිටිංගේල් මැතිණිය සැමරීම සඳහා මේ උත්සවය සංවිධානය කර තිබෙනවා. හෙද සේවාව ආරම්භ වුණේ අය නිසයි. ලෝකයේ සෑම ආරෝග්‍ය ශාලාවකම, වෙනත් සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි නැත්නම් තමන්ගේ නිවෙසේදී හෙද සත්කාර කරන අය ෆ්ලොරෙන්ස් නයිටිංගේල් මහත්මිය මතක තබා ගත යුතුයි. එතුමිය ආරම්භ කළ වෘත්තියක්. රෝගීන්ට වුවමනා සේවය ලබාදීමට තමන් කැපව සිටිනවා. රෝගීන් බලා ගැනීම මෙතැනින් ආරම්භ කළා. ඊට පෙර එක් එක් ආගම්වලින් රෝගීන් බලා ගත්තා. මෙරට හෙද සේවාව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විශාල සේවාවක් කරනවා. හෙද පීඨයක් ආරම්භ කිරීම වැදගත් දෙයක්. හෙද සේවාවේ අවශ්‍යතාව ලංකාවට පමණක් නොව ලෝකයේ වෙනත් රටවලටත් පවතිනවා. රුපියල් මිලියන 25,000 ක මුදලක් අයවැයෙන් වෙන් කර ගෙන සෞඛ්‍ය සේවාව නැංවීමට රාජිත ඇමැතිතුමා කටයුතු කරනවා. විදේශාධාරත් ලබාගෙන තිබෙනවා. විදේශාධාර අපට ගෙවන්න සිදු වෙනවා. එසේ වුවත් රටේ ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට අපි කටයුතු කරනවා. රේඛීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යාංශවලටත් සෞඛ්‍ය සේවාව නංවාලීමට මුදල් ලබාදීම රජයෙන් සිදු කරනවා. මීට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් සෞඛ්‍යයට මුදල් වෙන් කරනවා. සෞඛ්‍ය වෛද්‍ය පීඨ වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මුදල් ලබාදීම සිදු කරනවා. අලුතින් වෛද්‍ය පීඨ තුනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. වයඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිතව කුලියාපිටිය වෛද්‍ය පීඨය, සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව රත්නපුර වෛද්‍ය පීඨය, කටුබැද්දේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨ ලෙස අලුත් පීඨ ආරම්භ කරනවා. මේ වෛද්‍ය පීඨවලට සමගාමීව කුලියාපිටිය, රත්නපුර, පානදුර රෝහල් දියුණු කිරීමට නියමිතයි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් සෞඛ්‍යයට මුදල් ලබාදීම සිදු කරනවා.
ඉතිහාසය පුරාවට සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වැඩියෙන්ම මුදල් ලබාදී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන මේ ආණ්ඩුවයි. මම වෙනත් ආණ්ඩුවල සේවය කර තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා ජනාධිපතිවරුන් සමඟ මම වැඩ කළා. මේ හැම ආණ්ඩුවකින්ම සෞඛ්‍යයට මුදල් ලබාදීම සිදු කළා. ඒවා අපි දැක්කා. ඒත් මේ වගේ අමාරු තත්ත්වයක් ඒ ආණ්ඩුවලට තිබුණේ නැහැ. ආණ්ඩුව කරන්න ගන්නා විට අපිට ලැබුණේ ණයක් විතරයි. මෙවැනි තත්ත්වයක් යටතේ පවා අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මුදල් ලබාදීම සිදු කරනවා. වත්මන් ආණ්ඩුවට පෙර පැවැති ආණ්ඩුවට ගත් ණය ගෙවන්න බැරි වුණා. 2013 වසරේ සිට ණය පමණක් නොව ගත් ණය සදහා වූ පොලියවත් ගෙවා ගන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයක් තැබුවේ මේ ණය ගෙවා ගන්න බැරි නිසා. මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා කර ගනිමින් අපි ආණ්ඩුවක් පිහිටෙව්වා. මේ ආණ්ඩුව පිහිටුවා නැවත ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කළා. ණය ගෙවන්න පටන් ගත්තා. අද මේ රටේ ආදායමෙන් ණය පොලිය ගෙවනවා. ආදායම වැඩි වන්න වන්න අපේ ණය ප්‍රමාණය අඩු වෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 2500 ක් ණය විදියට ගෙව්වා. මේවා ගෙවමින් තමයි අපි මුදල් හොයා ගන්නේ. සමහරු හිතුවා මේ ණය ගෙවන්න බැරි වේවි කියලා. මේ ආණ්ඩුව අවුරුදු එක හමාරක් දෙකක් යද්දි වැටෙයි කියලා හිතුවා. නැව් නැති වරායක්, ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපොළක් තමයි අපි එදා බාර ගත්තේ. මේවා සාර්ථක ලෙස නගා සිටුවන ගමන් වෙනත් සංවර්ධන කටයුතුවලටත් අපි මුදල් යොදවනවා. අමාරුවෙන් හරි අපි මේ ගැටලුවලට මුහුණ දෙනවා.
අද ලෝකයේ තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබෙනවා. අමෙරිකාවේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමග අමෙරිකාවේ ඩොලරයේ අගය වැඩි වෙලා ලෝකයේ වෙනත් රටවල මුදල්වල වටිනාකම අඩු වෙලා. දියුණු වන රටවලට මේ තත්ත්වය තදින් බලපානවා. ආර්ජන්ටිනාව, තුර්කිය රටවල මුදල්වල වටිනාකම හොඳටම කඩා වැටිලා. අපේ මහ බැංකුවේ අධිපතිවරයා ඊයේ කීව්වා බය වෙන්න වැඩක් නැහැ අපිට මේ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව බාර ගන්නා විට රට බංකොලොත් වී තිබුණා. නමුත් අද විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 9000 ක් තිබෙනවා. මේ වසර අවසාන වන විට ඩොලර් මිලියන 11,000 ක් වෙනවා. කොහොම හරි අපි මේ තත්ත්වයට මුහුණ දෙනවා. අමාරුවෙන් ආර්ථිකය හදලා තමයි සෞඛ්‍යයට, අධ්‍යාපනයට මුදල් වෙන් කර තිබෙන්නේ. ඒකයි මම පුදුම වෙන්නේ. එදා ආර්ථිකය දාලා පැනලා ගිය අය අද අපිට කියනවා කොහොමද ආර්ථිකය හදන්නේ කියලා. ආර්ථිකය හදන්න දැන ගත්තා නම් 2014 දි පැනලා යන්න ඕනෑ නැහැ. 2015 ඡන්දය තිබුණේ වෙන දෙයක් නිසා නොවේ, සම්පූර්ණයෙන් රටේ ආර්ථිකය කඩා වැටිලා තිබුණු නිසයි. එහෙම එකේ අද කතා කරනවා අපි කොහොමද ආර්ථිකය හදන්නේ කියලා. ඔවුන් මේ රටේ ණය බර දෙගුණයක් කළා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට දෙන මුදල් අඩු කළා. රට පාලනය කරන්න බැරිව, ආර්ථිකය පාලනය කරන්න බැරිව අන්තිමට පැනලා ගියා. අපි මෛත්‍රීපාල මහතා පොදු අපේක්ෂකයා කර මේ මැතිවරණය ජය ගෙන නැවත ආර්ථිකය හැදුවා. ආර්ථිකය හදලා අපි රටේ දියුණුව පෙන්වා තිබෙනවා. එදා පෞද්ගලික අංශයට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අද පෞද්ගලික අංශයට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කළ යුත්තේ. අධ්‍යාපන, සෞඛ්‍ය අංශවලට තවත් වැඩිපුර මුදල් වෙන් කළ යුතුයි. රාජිත ඇමැතිතුමා ඔහුගේ කතාව කරන කොට මට මතක් වුණේ මේ ආණ්ඩුව තිබුණේ නැත්නම් මෙතරම් මුදලක් සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්නේ නෑ කියලා. වෙන ආණ්ඩුවක් ආවා නම් මේ වන කොට තවත් රට පහතට වැටිලා. සමාජ සුබ සාධන අංශයට අපි වැඩියෙන් මුදල් වෙන් කරනවා.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා-
හෙද සේවාවේ ආරම්භය නයිටිංගේල් මහත්මිය නිසා සිදු වුණා. වත්මන් හෙද සේවාවට ආරම්භයක් ලබා දුන් එතුමිය ගෞරවනීය ලෙස අපි සිහිපත් කළ යුතුයි. නයිටිංගේල් මහත්මිය රෝගීන්ට උපකාර කරන අයුරු දුටු බ්‍රිතාන්‍ය රජය හෙද සේවාව ආරම්භ කරන ලෙස ඇයට ආරාධනා කළා. ඒ අනුව දැන් පවතින මේ හෙද සේවාව බිහි වුණා. නයිටිංගේල් ප්‍රතිඥාව ලබා දී හෙද සේවාවට පිවිසෙන ඔබ ඒ අනුවම කටයුතු කරන්නේ නම් එය සමස්ත සෞඛ්‍ය සේවාවටම යහපතක්. හෙද සේවාව ගෞරවනීයයි. රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේදි වර්ගය, ආගම, කුලය අනුව බෙදීමක් නොකර ප්‍රතිකාර කළ යුතුයි. කිසිදු භේදයක් නොසලකා මිනිසකු කියන තත්ත්වයටම පමණක් සලකා ප්‍රතිකාර ලබා දිය යුතුයි. රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා තුළ තිබෙන ගුණයන් මම අගය කරනවා. ඔහු ජාති, ආගම්, කුල භේද පසෙක තබා මිනිසත්කමට පමණක් ගරු කරන අයෙක්. එය අපි අගය කළ යුතුයි. භේදයන්ට අනුව කටයුතු කරන්නේ නම් රටක් දියුණු කරන්නට අපහසුයි.
ආණ්ඩුව සමස්ත රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක් වැටුප් වැඩි කළා. මෙවැනි මුදලක් වැඩි කළ පළමු ආණ්ඩුව අපේ. වසර 2020 වන විට රුපියල් 10,000 ක මුදලක් මූලික වැටුපට එකතු වෙනවා. මේ වැටුප් වැඩි වීමට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් 3000 ක දීමනාවක් සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන්නා. හෙද හෙදියන්ගේ ඉල්ලීම් ලබාදීමට අපි රජයක් විදියට කටයුතු කරනවා. මහල් 19 කින් යුක්ත නවීන අංගෝපාංගයන්ගෙන් යුක්ත හෙද පීඨයක් ඉදිරියේදි ස්ථාපිත කරනවා. අනුරාධපුර, කළුතර, මහනුවර, ගාල්ල ප්‍රදේශවල අලුතින් හෙද පාසල් හතරක් බිහි කිරීමට නියමිතයි. මහජන සෞඛ්‍ය හෙද සේවාව ද මේ වන විට ස්ථාපිත කර තිබෙනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා-
හෙද සේවාවේ මාතාවන් වන ෆ්ලොරෙන්ස් නයිටිංගේල් මහත්මියගේ උපන් දිනය යෙදෙන මේ මස 12 වැනිදා ජාත්‍යන්තර හෙද දිනය යෙදී තිබුණා. හෙද හෙදියන් විදියට අපි රෝගීන්ට උපරිම සේවා සත්කාර ලබා දිය යුතුයි. අපි වැටුප් ලබා ගන්නේ මෙරට ජනතාවගේ බදු මුදලින්. එයට සරිලන විදියේ සේවාවක් අපි ඒ නිසා ලබා දිය යුතුයි. අපේ අයිතිවාසිකම් දිනා ගත යුතුයි.
සෞඛ්‍ය සේවාවට කළ මෙහෙවර අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහත්වරුන්ට හෙද සේවා උත්තම අභිමානී සම්මාන ලබාදීම ද සිදු කෙරිණි. තවත් හෙද හෙදියන් පිරිසක් ඇගැයීම මෙහිදී සිදුකෙරිණි.
මේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු ද, හෙද සේවා අධ්‍යක්ෂිකාවන්ද, හෙද විදුහල්පතිවරුන් ද, ආචාර්යවරුන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


ඡායාරූප - හිරන්ත ගුණතිලක


0 Comments