Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛද්‍ය වෘත්තිය කොයිබටද?

වෛද්‍යවරු දෙවියන් වැනි වන්නේ මර ඇ‍‍‍ඳේ සිටින ජීවිතද ගොඩ ගන්නා ඉසිවරුන් නිසාය.‍ වෙදකමට සම කළ හැකි වෙනත් වෘත්තියක් නැත්තේද එනිසාය. පැරැණි වෙදැදුරෝ මුදල නොතැකු‍වෝය. ඔවුහු සමාජයේ බුහුමනට ලක් වුණේ එනිසාය. වත්මන වෛද්‍ය වෘත්තිය කොයිබටද? ඔවුන් බොහෝමයකගේ ප්‍රමුඛත්වය රෝගීන්‍ නොව තම පැවැත්ම බව පෙනී යයි. රටේ දියුණුව සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළට සහාය දැක්වීම දේශපාලන පාට භේදයකින් තොරව රටේ සියලු පුර‍වැසියන්ගේ වගකීම විය යුතුය. සංවර්ධනය සඳහා වෙළෙඳ ගිවිසුම් අත්‍යවශ්‍ය වේ. අප ඒ දෙස බැලිය යුත්තේ ආත්මාර්ථකාමී හැඟුමෙන් නොව රට ගැන හැඟුමෙනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජය ගෙන එන වෙළෙඳ ගිවිසුම්වලට විරුද්ධව වැඩ වර්ජනයක නිරත විය. ඒ සම්බන්ධයෙන් දිනමිණ සිදු කළ වියත් මත විමසුමයි මේ.

දිගුකාලීන දැක්මකින් රට දියුණු වෙනවට අකමැති අය තමයි මේ වර්ජන කරන්නේ
- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ අංශාධිපති විජිතපුර විමලරතන හිමි

ආර්ථික වශයෙන් රටක් සංවර්ධනයවීමේ දී වෙළෙඳ පොළ ප්‍රවර්ධනය සඳහා නිදහසේ ජාත්‍යන්තර ගනුදෙනු සිදු විය යුතුයි. වර්තමානයේ මේ ගිවිසුම් අත්සන් කිරීම ගැන විරෝධතා රැල්ලක් මතු වෙලා තිබෙනවා. මේ හැම ගිවිසුමකම හොඳ නරක දෙකම තිබෙනවා. සමහර වෘත්තීය සමිති මෙයට විරුද්ධ වන්නේ රට පිළිබඳ ඇති ආදරයකින් නොවෙයි. තමන්ට පුද්ගලිකව සිදු වන හානි දෙස බලලයි.

කිසියම් ආණ්ඩුවක් බලයට පත් වන්නේ මහජනතාවගේ කැමැත්තෙන්. ඒ කැමැත්ත යම් යම් කාලවල අඩු වැඩි වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළ විට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට තමයි ජනතාව ඡන්දය දෙන්නේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු බොහෝ විට කරන්නේ ලැබුණු ඡන්දයට හා ජනතා කැමැත්තට අනුව කටයුතු කරනවාට වෘත්තීය සමිතිවලට සවන්දීමයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සම්පූර්ණයෙන් අමතක කරනවා. විවිධ ව්‍යාපාර, වෘත්තිය සමිති මඟින් කරන උද්ඝෝෂණ, විරෝධතා පදනම් කරගෙන ප්‍රතිපත්ති වෙනස් කරනවා.

මේ උද්ඝෝෂණ එක් එක් කණ්ඩායම්වල සුබසාධනය සඳහා අවධානය යොමු කරවන දේවල් මිස සමස්ත ජනතාවගේ සුබසාධනය සඳහා ක්‍රියාත්මක කරන දේවල් නොවේ. අපි ජීවත් වන්නේ ගෝලීය ආර්ථිකයක් තුළයි. මේ ආර්ථිකය තුළ සියල්ල එහාට මෙහාට ගමන් කරනවා. මූල්‍ය හා ප්‍රාග්ධනයත් එහෙමයි. මෙය සීමා කළොත් රටට දියුණුවක් හෝ ඉදිරියට යාමක් නැහැ. මේ විරුද්ධව කටයුතු කරන අයගෙන් ස්වල්ප දෙනෙක් හැර බෝහෝ දෙනක් සිංගප්පූරුවට, කැනඩාවට, එංගලන්තයට අමෙරිකාවට යන්න කැමැතියි. ඒ රටවල්වල ඉගෙන ගන්නත් කැමැතියි. පදිංචි වෙන්නත් කැමැතියි. ඒ රටවල්වල සේවය කරන්නත් කැමැතියි. එහි දේපළ ගන්නත් මේ අය කැමැතියි. නමුත් ඒ අය මෙහෙ එන විට ඒකට විරුද්ධයි. නමුත් මේ රටවල් ඉතාමත් දියුණු රටවල්. සියලු අංශවල ඉහළ සෞභාග්‍යයක් තිබෙනවා. ඒ රටවල් මේ මහා සෞභාග්‍යය අත්පත් කර ගත්තේ මේ ගිවිසුම් හරහා ලෝකයට රට විවෘත කිරීම් තුළින්. මේ රටවල අපේ රටේ අය ඉන්නවා. ඇතැම් රටවල ජනගහනයෙන් සියයට 80ක් ඉන්නේ විදේශිකයන්. නමුත් ඉතා ඉහළ සෞභාග්‍යයක් ලබා ගෙන තිබෙනවා. ඒ මනා කළමනාකාරීත්වයක් පවත්වාගෙන යන නිසයි. මැදපෙරදිගට යන එන ගුවන්යානාවල නියමුවන් හා සේවිකාවන් බොහෝ පිරිසක් අපේ අයයි. අපේ ආහාර තමයි දෙන්නේ. කළමනාකරණය කරන්නේ යුරෝපීය අයයි. විදේශිකයන් පාවිච්චි කරලා ලොකු වැටුප් ගෙවලා ඒ අය එයින් විශාල ලාබයකුත් ලබනවා. අපි ළිඳේ ඉන්න ගෙබ්බන් වගේ කටයුතු කරන්නේ. අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් කොපමණ අලාභයක් ලබනවාද?

මේ ගෝලීය ආර්ථික රටාව තුළ තමන්ගේ අරමුණු කේන්ද්‍රකර ගෙන විවිධ දේවල් කිරීම තුළ ජනතා සුබ සාධනයට විශාල හානියක් වෙනවා. ඒ නිසා රටට ඉදිරියට යන්න බැරි වෙනවා. අපේ කාන්තාවෝ මැදපෙරදිග ගිහින් අනේක විධ දුක් විඳලා විදේශ විනිමය උපයනවා. මේකට විරුද්ධව කවුරුත් පෙළපාළි යනවද, උද්ඝෝෂණ කරනවාද? ඒ අය හම්බ කරන එකෙන් අපි විනෝද වෙන්න තමයි බලන්නේ. මේ රටේ විරුද්ධ වෙන්න අවශ්‍ය දේවල්වලට නොවෙයි මේ අය විරුද්ධ වන්නේ. මේ වගේ පටු අරමුණු සහිතව දිගුකාලීන දැක්මක් ඇතිව රට දියුණු වෙනවට අකමැති අය තමයි මේ විරුද්ධ වෙලා උද්ඝෝෂණ, වර්ජන කරන්නේ. වෛද්‍යවරුන්ගේ, නර්ස්ලගේ ලොකු සැලකිල්ලක් ජනතාව ගැන එදා තිබුණා. අද සල්ලි ගෙවලා ගියත් ඒ සැලකිල්ල නැහැ. සල්ලි ගත්තත් කතා කරන්නත් වෙලාවක් නැහැ. මානුෂිකත්වය කියන දේ ගිලිහී ගිහිල්ලා කියලා තමයි මට පේන්නේ.

බොහොමයක් වෛද්‍යවරුන් කැපවී සිටින්නේ දේශපාලනයටයි
- ප්‍රවීණ සාහිත්‍යවේදී ගාමිණි වියන්ගොඩ

අද බොහොමයක් වෛද්‍යවරු තමන්ගේ රාජකාරිය කර ගෙන තිබෙන්නේ වෙදකම නොවෙයි. මේ අය අද වෙනම දේශපාලන වැඩපිළිවෙළක් වෙනුවෙන් තමයි කැපවෙලා කටයුතු කරන්නේ. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ සංගමය එට්කා, සිංගප්පූරු ගිවිසුම හෝ වෙනත් ගැටලු අල්ලගෙන කරන්නේ දේශපාලන ව්‍යාපෘතියක් ජයග්‍රහණය කරවීමට උත්සාහ දැරීමක් බව පෙනෙන්නට තිබෙනවා. මේ සංගමයේ වෛද්‍යවරුන් කියන කරුණුවලින් භාගයක් පට්ටපල් බොරු වගේම අනිත් භාගය වංචනිකයි. මේ අය දත්තමය වශයෙන් කියන ඇතැම් දේ ඇත්ත වුවත් ඒවාට දෙන නිර්වචන අසත්‍යයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රටට අලුතින් ඇම්බියුලන්ස් සේවාවක් ආ විට මේ වෛද්‍ය සංගමය කියූ දේවල් අපට මතකයි. මේ ඇම්බියුලන්ස් රෝ ඔත්තු සේවාවෙන් ආවා කිවුවා. මේවයේ රෝගීන් ගෙන යන විට ඔවුන්ට විදුලිය වැදෙන්නට ඉඩ තිබෙන බව කිවුවා. මේවායේ රෝහලට යනවාට වඩා ත්‍රිරෝද රථයකින් යන එක හොඳයි කිවුවා. මෙවැනි ප්‍රමිතියෙන් තොර අසත්‍ය කතා කියන දොස්තරවරුන්ගේ සංගමයක් අද රටේ තිබෙන්නේ. එවැනි දොස්තරවරුන් සිටින සංගමයක් එට්කා හෝ සිංගප්පූරු ගිවිසුමට එරෙහිව කරන මේ වර්ජන ගැන කුමන කතාද,

මේ රටේ වඳ පෙති කතාවක් නිසා අම්පාරෙන් පටන් අරගෙන විශාල විනාශයක් සිදු වුණා. මේ සංගමයේ එකම වෛද්‍යවරයෙක් ප්‍රකාශයක් නිකුත් කළා ද මේ කියන වඳ පෙත්තක් රටේ නැහැ කියලා. දොස්තරවරු තමයි මේ ඇත්ත රටට, ජනතාවට කියන්න පුළුවන් හා කියන්න සුදුසු එකම පිරිස. මෙවැනි වඳ පෙත්තක් නැහැ. මේ ජාතිය විනාශ කරන්නට කරන කුමන්ත්‍රණයක් බව ඔවුන්ට කියන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එවැනි දෙයක් වෛද්‍යවරු කළේ නැහැ. මේ වනතෙක් ඒ ගැන ප්‍රකාශයක් කරලා නැහැ.

ආර්ථිකවේදීන්ගේ වැඩේ වෛද්‍යවරුන් කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා
- වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්ය අමින්ද මෙත්සිරි පෙරේරා

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බැලීමේ දී පෙනෙන වැදගත්ම කරුණ වන්නේ මේ රට සංවර්ධනය කිරීමට නම් සෘජු විදේශ ආයෝජන අවශ්‍ය කරන බවයි. වත්මන් රජය බලයට පත් වන විට පොරොන්දු රැසක් දුන්නා. ඒ පොරොන්දු අතර විශේෂ පොරොන්දු රැසක් තිබෙනවා. යම් යම් රටවල් සමඟ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම්වලට එළැඹෙන බවට දුන් පොරොන්දු ඒ අතර වෙනවා. ඉන්දියාව, සිංගප්පුරුව වැනි රටවල් ගණනාවක් හුවා දැක්වුවා. ඒ ගිවිසුම්වලින් රජයකට වාසි ගොඩක් ලැබෙනවා. මුල්‍යමය ශක්‍යතාව, තාක්ෂණික ඥානය මෙන්ම අනෙකුත් යටිතල පහසුකම්වල වර්ධනයක් ලබා ගැනීමට පුළුවන්. ඕනෑම දියුණු වන රටකට ශක්තිමත් රටක් එක්ක ගිවිසුම් ගත වෙන්න පුළුවන් නම් එය විශාල වාසියක් වෙනවා. මේ ගිවිසුම ගැන ජන සමාජය කතා වෙන්න ගත්ත විගස විශේෂයෙන් වෘත්තීයවේදීන් විවිධ විරෝධතා ගෙන එනවා. එට්කා ගිවිසුම ගැන කියන විටම වෛද්‍ය, ඉංජිනේරු වැනි සංගම් හා පාර්ශ්ව ගණනාවක් විරුද්ධ වුණා. කොන්දොස්තර කෙනෙක් දොස්තරගේ වැඩේ කරන්න ගිය විට එතැන ප්‍රශ්න ඇති වෙනවා. ආර්ථිකවේදීන්ගේ වැඩේ වෛද්‍යවරු කරන්න ගියහම ප්‍රශ්න ඇති වෙනවා. වෛද්‍යවරු තේරුම් ගන්න ඕනේ තමන්ගේ රාජකාරිය කුමක් ද කියලා.

එට්කා ගිවිසුමේ කරුණු බැලුවාම සාමාන්‍ය අයකුට ඔය කියන විදිහට ශ්‍රී ලංකාවට එන්න බැහැ. ඉන්දියාවේ කොණ්ඩ කපන අයකුට ඕන විදිහට ශ්‍රී ලංකාවට ඇවිත් කොණ්ඩ කපන්න බැහැ වෛද්‍යවරු කියන ආකාරයෙන්. අපි ජාත්‍යන්තරව එකඟ වූ තවත් ගිවිසුම් ගණනාවක් තිබෙනවා. ඒ ගිවිසුම්වලට යටත්ව තමයි එට්කා ගිවිසුම වුවත් ක්‍රියාත්මක වන්නේ. ඊට අමතරව ශ්‍රී ලංකාවේ තිබෙන ආගමන විගමන නීති රාමුව තුළ තමයි සියල්ල සිදු වන්නේ. මේ අය බොරු මතයක් ගෙන ගියා ඉන්දියාවේ ඉන්න රස්සා කරන්න බැරි අය ශ්‍රී ලංකාවට ඇවිත් මේ රටේ රස්සාවල් ගනී කියලා. අද එට්කා ගිවිසුම අත්සන් කර නැහැ. නමුත් කොළඹ විශාල රෝහල්වල අද ඉන්දියන් වෛද්‍යවරු කොපමණ ඉන්නවාද, චීනයේ සංවර්ධන ව්‍යාපෘති එක්ක චීන ජාතියකයන් එක්ලක්ෂ පනස් දහසක් පමණ මෙහි ඉන්නවා. මේ වෛද්‍යවරුන්ට ඉංජිනේරුවන්ට මේ එකක්වත් පේන්නේ නැහැ. මීට කලින් පෙනුනෙත් නැහැ. මේ ආණ්ඩුව ඇවිත් ගිවිසුම ගැන කියද්දී තමයි මේවා පේන්න ගත්තේ. මේ නිසා මේ තුළ දේශපාලන වුවමනාවක් තිබෙන බව පෙනෙනවා. මේ සංගම් කටයුතු කරන්නේ එක්තරා දේශපාලන හස්තයකට යටත්ව බව මේ අනුව පෙනෙනවා.

අද වන විට සිංගප්පූරු ගිවිසුම එක්ක වෛද්‍යවරු කියනවා මේ රටේ වෘත්තීයවේදීන්ගේ ප්‍රශ්නය බරපතළ තැනකට රැගෙන ගියා කියලා. වෛද්‍යවරු දන්නේ නැතිව ඇති මේ රටේ ඒකපුද්ගල ආදායම අද ඩොලර් හාරදහසකට ආසන්නයි. සිංගප්පූරුවේ ඒකපුද්ගල ආදායම ඩොලර් පනස් දහසයි. එසේ තිබිය දී සිංගප්පූරුවේ වෘත්තීයවේදීන් ශ්‍රී ලංකාවට හොරෙන් පැනලා ශ්‍රී ලංකාවේ බින්න බැහැලා ශ්‍රී ලංකාවේ රස්සා කරන්න ඒ අයට ලොකු ඔළුවේ අමාරුවක් තිබෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ අය සිංගප්පූරු යන්න හදනවා මිසක් සිංගප්පූරුවේ අය ශ්‍රී ලංකාවට එන්න හදනවා කියලා කියනවා නම් එය විහිළුවක්. ඉන්දියාවෙන් එයි කියලා සැක කරන්න පුළුවන් වුණත් සිංගප්පූරුවෙන් එයි කියලා අපිට සැක කරන්නවත් බැහැ. වෛද්‍යවරුන් මෙසේ සිතන දේ තුළින්ම අපට පෙනෙන්නේ වෛද්‍යවරුන් වැරැදි මතයක ඉන්නවා කියන එකයි.

අපි ජාත්‍යන්තර ගිවිසුම් ගැන මේ වන තෙක් සිදු කර ඇති සංවාද තුළ අපි දැක්කේ නැහැ ආර්ථිකවේදීන් කතා කරනවා. රජය මේවායේ තිබෙන කොන්දේසි, ගිවිසුම් මොනවාද කියලා කතා කරලා, පැහැදිලි කරලා තිබෙනවා. වෛද්‍යවරු කියනවා රජය කියන දේ පිළි ගන්නේ නැහැ කියලා. එසේ නම් මේ අය පිළි ගන්නේ කවුරු කියන දේද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෑත කාලේ සේවා වියුක්තිය පිළිබඳ දත්ත වාර්තාවක් එළියට ආවා. එහි ශ්‍රම සැපයුම සම්බන්ධ වාර්තාවේ සඳහන් වෙනවා ශ්‍රී ලංකාවේ අද වන විට පුරප්පාඩු ලක්ෂ තුනක් විතර තිබෙනවා කියලා. පෞද්ගලික අංශයේ අය කියන්නේ කම්කරු මට්ටමේ රැකියාවලට අද සේවකයෝ නැහැ කියලා. මේ ආයතන පවත්වා ගෙන යන්න නම් තව ටික දවසකින් ජාත්‍යන්තර ශ්‍රමය ගන්න වෙනවා. මැද පෙරදිග සිදු වන දේ ටික දවසකින් අපේ රටට සිදු වෙනවා. අපේ උපත් අනුපාතයේ පහළ යාම හා වයස් ගත අනුපාතයේ ඉහළ යාම තුළ අනිවාර්යයෙන්ම අපි 2035, 2040 වන විට මේ රටේ ශ්‍රම හිඟයක් ඇති වෙනවා. මේ ශ්‍රම හිඟයට පිළියම් සොයන්න අපි ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රම එකඟතා ගිවිසුම්වලට යා යුතු වෙනවා. එතැනදි ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය වෙන්න පුළුවන්. නමුත් ඔවුන් පෞද්ගලික ප්‍රතිකාර හරහා උපයන මුදලට තර්ජනයක් විය හැකියි කියන බය වෛද්‍යවරුන්ට තිබෙනවා. තමන් විසින් අවතක්සේරු කර ගන්නවා ඉන්දියාවේ වෛද්‍යවරු ශ්‍රී ලංකාවට ආවොත් තමන්ට වෙළෙඳ පොළක් නැති වෙයි කියලා. මෙය තමයි ඇත්ත තත්ත්වය. තමන්ගේ ආදායම, රැකියාව ගැන තිබෙන හුදු බිය හින්දා අද වන විට වෛද්‍යවරු මේ රටේ ලෙඩ්ඩු උගස් කරන තත්ත්වයට පත්ව තිබෙනවා.

සිංගප්පූරු ගිවිසුම අත්සන් කළා කියලා මේ රටේ ලෙඩ්ඩු පළි නැහැ. ලෙඩෙක් මරාගෙන සිංගප්පූරු ගිවිසුම අහෝසි කිරීම නම් වෛද්‍යවරුන්ගේ බලාපොරොත්තුව අපට කියන්න වෙනවා වෛද්‍යවරු ලෙස මේ යන ගමන හරිද කියලා නැවත සලකා බලන්න කියලා. ඒ නිසා මෙය ආර්ථිකවේදීන්ගේ ප්‍රශ්නයක්. එය ආර්ථිකවේදීන්ට බලන්න දෙන්න. මේ රටේ වකුගඩු රෝගයෙන් දහස් ගාණක් මැරෙනවා. දියවැඩියාවෙන් මැරෙනවා. ඒ අයගේ ජීවිත බේරා ගන්න මැදිහත් වීමයි වෛද්‍යවරුන්ගේ වගකීම විය යුතුයි.

වැඩවර්ජන නොකර ගිවිසුම් ගැන ජනතාව දැනුවත් කළා නම් හොඳයි
- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්ද වික්‍රමරත්න

වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාව අසීරුතාවට පත් වන ආකාරයෙන් වැඩවර්ජන නොකර මේ ගිවිසුම් ගැන ජනතාව දැනුවත් කළා නම් මීට වඩා හොඳයි. මේ ගිවිසුම් සම්බන්ධව මගේ වැඩි දැනුමක් නැහැ. මේ සිංගප්පූරු ගිවිසුම අනුව ඕනෑම අයකුට ශ්‍රී ලංකාවට ඇවිත් ශ්‍රී ලංකාව තුළ ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා එම සංගමයේ සාමාජිකයන් කියනවා මා රූපවාහිනි ප්‍රවෘත්තිවල දී දැක්කා .

මේ කතාවල ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ වැඩවර්ජනයකට යාම අනුමත කරන්න බැහැ.

නමුත් මෙවැනි ගිවිසුමකට රජය එළැඹෙයි කියලා හිතන්නත් බැහැ. රටට අවාසි සහගත හෝ රටට හානිවන ගිවිසුම්වලට රජය එළැඹෙනු ඇතැයි විශ්වාස කරන්න බැහැ. රජයත් මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට පමණක් නොවෙයි ජනතාවගේ දැනුවත්භාවයට ද ඉදිරිපත් කළ යුතු වෙනවා. කෙසේ වෙතත් මෙවැනි කරුණු මත මේ අවස්ථාවේ වැඩවර්ජනයට යාමෙන් රෝගීන් අපසුතාවට පත් වෙන නිසා වැඩවර්ජනවලට යාම අනුමත කළ නොහැකියි.

දෙවියකුවන් වෛද්‍යවරයෙක්

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (17) දීප ව්‍යප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරිණි. එසේ තිබියදීත් මාලිගාවත්ත රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුචිර සරණපාල මහතා අසරණ රෝගීන් වෙනුවෙන් සුපුරුදු පරිදි ප්‍රතිකාර සිදු කළේය.

ප්‍රතිකාර සායන කිසිදු අපහසුතාවකින් තොරව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ඉතා සහයෝගයෙන් කිසිදු රෝගියකු අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කළ බව රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ ‍රෝහලේ සංවර්ධන කමිටු සභාපති රියාස් කෆූර් මහතා දිනමිණට ඊයේ (17) පැවැසීය.

මලිගාවත්ත රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර කටයුතුවලින් වෛද්‍යවරුන් 16 දෙනාගෙන් 15 දෙනකු ඉවත්ව සිටිය ද ප්‍රතිකාර කටයුතු එලෙසම පවත්වාගෙන යාමට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කටයුතු කළ බව ද රියාස් කෆුර් මහතා වැඩි දුරටත් පැවැසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();