මොට බලයක් යෙදමින් බහුවිධ තුවාල සිදුවීමෙන් සිදුවූවක්
මාළිගාවත්ත ප්‍රදේශයේ ඊයේ (15) දැඩි නොසන්සුන්තාවයකට තුඩුදුන් දරුකමට හදාවඩා ගත් බිලින්දකුගේ මරණය පිළිබඳව පූර්ණ විමර්ශනයක් කළ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය එම මරණය මොට බලයක් යෙදීමෙන් බහුවිධ තුවාල හේතුකොටගෙන සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයක් නිසා ඉදිරි කටයුතු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තැබීමට මාළිගාවත්ත පොලිසියට ඊයේ (15) නියෝග කළාය.
මියගිය දරුවා දරුකමට හදාවඩා ගත් සැකකාර යුවළ හා එම බිලින්දාගේ නීත්‍යානුකූල මව සහ පියා පොලිස් භාරයට ගෙන අද (16) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මරණය සිදුවීමෙන් අනතුරුව එම සැකකාර යුවළ එම බිලින්දාගේ දේහය මිහිදන් කිරීමට කටයුතු කිරීමේදී එම මාළිගාවත්ත ප්‍රදේශය අවට පිරිස් විසින් පොලිසියට දුරකථනයෙන් සිද්ධිය පිළිබඳව දන්වා ඇත.
ඒ අනුව මාළිගාවතaත පොලිසිය එසැණින් ක්‍රියාත්මකව අදාළ නිවසට පැමිණ එම මියගිය බිලින්දා හා සැකකාර පිරිස පොලිස් භාරයට ගෙන දරුවාගේ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට මරණ පරීක්ෂක වෙත ඊයේ (15) යොමුකරන ලදී.
ඒ අනුව මියගිය එම බිලින්දාගේ දේහය පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් සඳහා දේහය තැන්පත් කැර තිබූ ස්ථානයට ගොස් පරීක්ෂා කැර බැලූ මරණ පරීක්ෂකවරිය බිලින්දාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසියට නියෝග කළාය.
ඒ අනුව කොළඹ විශේෂඥ අධිකරණ වෙද්‍ය එස්. ඩී. චන්න පෙරේරා මහතා මියගිය බිලින්දාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (15) සවස පැවැත්වූ අතර බිලින්දා හට මොට බලයක් යෙදීමෙන් බහුවිධි තුවාල සිදුවී ඇති බවට එම වෛද්‍ය වාර්තාවෙන් සඳහන් කැර කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත ඉදිරිපත් කළේය.
මෙලෙස ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඩ් උෂ්මාන් මොහොමඩ් ඉකම් නැමැති දෙහැවිරිදි බිලින්දෙකි. මීට වසර දෙකකට ඉහතදී කහවත්ත ප්‍රදේශයේ පදිංචි යුවළකගේ මේ දරුවා සැකකාර අය විසින් දරුකමට හදාවඩා ගැනීමට ගෙන තිබේ.
කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත කැඳවා ආ සැකකාර මව වන මොහොමඩ් පානි ෆාතිමා සිපානා (30) යන අය අධිකරණය හමුවේ සාක්කි දෙමින්,
තමාට දරුවන් දෙදෙනකු සිටින බවත්, මියගිය දරුවා හදාවඩා ගැනීම සඳහා ලිඛිතව එම දෙමාපියන්ගෙන් ලබාගත් බවත්, 2018-04-11 දින දරුවාට ක්ලාන්තය සෑදී බිමවැටුණු බවත්, එහිදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා පුද්ගලික රෝහලකට යොමුකළ බවත් එහිදී දරුවාට සීනි වැඩි වී තිබෙන බවත්, ඒ සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවත්, දරුවාගේ වමනය දෙපයේ තිබූ බැවින් තමා රෝහලේ වතුර පයිප්පයක් ළඟට ගොස් දෙපා සේදීමට යාමේදී දරුවා හයියෙන් හැඬූ බවත්, එය පරීක්ෂා කිරීමේදී දැඩි රස්නය වතුර ගලා ඒම නිසා දරුවාගේ දෙපා තුවාල වූ බවත් 2018-04-14 දින දරුවාගේ ටිකට් කැපූ බවත්, පසුව 2018-05-14 දින උදේ ආහාරය ලබාගෙන නිදාගැනීමෙන් අනතුරුව උදේ 10 ට පසු ශබ්දයක් ඇසී බලන විට දරුවා බිම වැටී සිටි බවත්, පසුව දරුවා මියගොස් සිටි බැවින් පුද්ගලික වෛද්‍යවරු දෙදෙනෙකුගේ වාර්තා ලබාගැනීමට නොහැකි වූ බවත්, පසුව දරුවාගේ දේහයේ අවසන් කටයුතු කිරීමට අදහස් කළ බවත් පොලිසිය පැමිණ අප හා දරුවාව ජාතික රෝහලට ගෙන ආ බවත් කීවාය.
මෙහිදී හදිසි මරණ පරීක්ෂකවරිය හරස් පැනයක් මතු කරමින්,
මරණ පරීක්ෂක - මීට අමතරව තවත් නඩුවක් ඔබට විරුද්ධව උසාවියේ තිබෙනවා නේද?
සැකකාර සාක්කිකාරිය - ඔව්, මට අලුත්කඩේ උසාවියේ නඩුවක් තියෙනවා. ඒ මාගේ සැමියාගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනාට පහරදීම සම්බන්ධවයි. ප්‍රේම සබඳතාවයක් පැවැත්වීමට නිසාය. ඒ පහරදීම නිසා සැමියාගේ ඥාති පිරිස් පොලිසියට පැමිණිලි කැර 2013 වසරේ සිට එම නඩුව තිබෙනවා. එම දරු දෙදෙනා උසාවියෙන් පරිවාසයට බාර දී තිබෙනවා. තවද මගේ සැමියාගේ පළමු බිරියට සැමියා මැරූ බවට විරුද්ධව නඩුවක් ද තිබෙනවා.
මරණ පරීක්ෂක - මීට කලින් දරුවකු මියයාම නිසා රක්ෂණ වන්දියක් ඔබ ගෙන තිබෙනවාද?
සැකකාර සාක්කිකාරිය - කිසිම පොලිසියක එසේ පැමිණිලි නැහැ.
(මෙහිදී මියගිය බිලිඳාගේ නීත්‍යානුකූල මව සුබ්‍රමනියම් කුමාරි දගර්ශනි (35) යන අය ද අධිකරණය හමුවේ සාක්කි දුන්නාය.)
අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ඉහත නියෝගය කළාය.
මාළිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් දිසානායක (40850) හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්කි මෙහෙයවූහ.
හේමන්ත ඩෙප්


0 Comments