Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සා.පෙළට පෙනීසිටි සියලු දරුවන්ට උ.පෙළටත් ලියන්න අවස්ථාව දෙනවා

Author(s): 
සිතාරා සේනානි

රටේ කිසිදු දරුවකුට සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වීම නිසා උසස් පෙළ හැදෑරීමට ඇති අයිතිය අහිමි කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසා දෙමින්, 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළෙඳ පොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

විභාගයක් යනු මතකය මැන බැලෙන එක් ක්‍රමයක් වන හෙයින් දරුවන්ගේ අනාගතය ඒ මත තීරණය කරනු වෙනුවට පිරුණු හැකියාවන්ගෙන් යුත් මානව සම්පත් ගොඩනැඟිය හැකි තැනක් බවට පාසල් පරිවර්තනය කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවැසුවේ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනේ පළමු අදියරේ ප්‍රගතිය සමලෝචනය සහ දෙවැනි අදියර ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පෙරේදා (14) පැවැති විශේෂ හමුවේ දී ය.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන ගැන විවිධ විවේචන, චෝදනා, මතවාද පැවැතියත්, ලොව පිළිගත් අධ්‍යාපනඥයන් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය. අනාගත රැකියා වෙළෙඳ පොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවද, එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේ දී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුව පවතින බවත් ඇමැතිවරයා එහි දී අවධාරණය කළේය.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන මඟින් නව ලොව රැකියා අවස්ථා සඳහා පුළුල් ඉඩ ප්‍රස්ථා විවර කෙරෙන නව වෘත්තීය විෂයයන් 26ක් සහිත ව වෘත්තීය විෂය ධාරාවක් හඳුන්වා දී තිබේ. මෙම වැඩසටහනෙහි පළමු අදියරේ දී පාසල් 42ක සිසුන් 4000කට අධික සංඛ්‍යාවකට ‍වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව සැලසුණු අතර, දෙවැනි අදියරේ දී පාසල් 150ක සිසුන් 14000කට අධික පිරිසකට එම අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව, දිවයිනේ සියලු පළාත් සහ සියලු අධ්‍යාපන කලාප නියෝජනය වන පරිදි තෝරාගත්, පාසල් 192 ක මේ වසර වනවිට මෙම විෂය ධාරාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා ගුරුවරුන් 2100ක් මේ වනවිටත් අධ්‍යාපන පද්ධතිය වෙත බඳවා ගැනීමට කටයුතු යොදා ඇති අතර, ජාතික අධ්‍යාපන ආයතනය මඟින් එම ගුරුවරුන් පුහුණුකිරීම සිදුකැරේ. මෙම වැඩසටහන වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3600 ක් වෙන් කර තිබේ. පන්ති කාමර පහසුකම්, ගොඩනැගිලි පහසුකම් සහ ප්‍රමාණවත් ගුරුවරුන් සම්බන්ධයෙන් මතුවන ගැටලුවලට මෙමඟින් විසඳුම් ලබාදිය හැකි බව ද අමාත්‍යවරයා මෙම හමුවේ දී සඳහන් කළේය.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) වයි.ඒ.එන්.ඩී යාපා මහත්වරු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සියලු පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන්, 13වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාවට නැංවෙන පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();