Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රඥාව අවදි කිරීමට විධිමත් වැඩපිළිවෙළක්

සමන්මලී ප්‍රියශාන්ති

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටුම්කාරී වතාවරණය හා අසහනකාරී තත්ත්වය ඉක්මණින්ම ඉවත් කර නැවතත් විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රඥාව අවදි කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

හෙතෙම මේ අදහස් පළ කළේ නව අමාත්‍ය ධූරයේ වැඩබාර ගැනීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මා සිදු කිරීමට බලාපොරොත්තු වන මූලික ඉලක්කය වන්නේ නැවත සිසුන්ගේ ප්‍රඥාව ඇති කිරීමේ, අවධි කිරීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමයි.

අද විශ්වවිද්‍යාල සිසුන් තරුණ මදය සමඟ අවස්ථාවාදී දේශපාලන ගැටලුවලට අහුවෙලා ඉන්නවා. මේ නිසා නිරපරාදේ තමන්ගේ කාලය මෙන්ම වටිනා ජීවිතය පවා විනාශ කර ගන්නවා. තමන්ගේ මවුපියන් දේපළ උගස් කර තමන්ගේ දරුවාව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට එවන්නේ. ඒ දරුවා විශ්වවිද්‍යාලයට පැමිණි පසු ඇතැම් දේශපාලන සංවිධාන, මේ දරුවන් දේශපාලන ඇපයට ගන්නවා. එසේ කරලා තමන්ගේ අභිමතාර්ථ ඉටු කර ගන්නට උත්සහ කරනවා. එහි තිබෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය අද මුළු රටම දන්නවා. මින් පෙර සිටි ඇමැතිවරු ඒ තත්ත්වයන්ට වගකිව යුතු බව මා කියන්නේ නැහැ. නමුත් ඒ දරුවන්ගේ ගැටලු ප්‍රමාණාත්මක ලෙස හදුනා ගැනීමට කටයුතු කර නැති බව පෙනෙන්නට තිබෙනවා. මේ දරුවන්ගේ ඉල්ලීම් ඇතැම් විට සාධාරණ ඇතැම් විට අසාධාරණ වෙන්න පුළුවන්. ඇතැම් ප්‍රශ්න විශ්වවිද්‍යාල මට්ටමින් විසඳන්න හැකියාව තිබෙන ගැටලු වුවත් ඒවාත් විසදෙන්නේ නැහැ. මට උපකුලපතිවරු කතා කළා. ඒ සියලු දෙනා එක් කර ගනිමින් විශ්වවිද්‍යාවල පවතින මෙවැනි තත්ත්වයන් වෙනස් කරන්නට කටයුතු කරනවා. මේ බොහෝ ප්‍රශ්න සාකච්ඡාවෙන්, අවබෝධයෙන් විසඳා ගන්න පුළුවන් බව මා විශ්වාස කරනවා.

මේ අවස්ථාවේ දී මා නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර ශ්‍රීමතාණන් හා උසස් අධ්‍යාපනයේ පියා ලලිත් ඇතුළත්මුදලි ශ්‍රීමතාණන් මතක් කරන්න කැමැතියි. එමෙන්ම මා කෙරෙහි විශ්වාසය තබා මේ අමාත්‍ය ධුරය මා වෙත බාර දුන් ජනපති අගමැති දෙපළට ද ස්තූතිය පුද කරන්න කැමැතිය. මට මෙතෙක් ලැබුණු සියලු ඇමැතිධුර විද්‍යාත්මක පදනමක් යටතේ ලැබුණේ. එමෙන්ම මගේ වෘත්තීන්ට ද ගැලපෙන පරිදි අමාත්‍යංශ ලැබුණේ. එය දෛවෝපගත සිද්ධියක් බවයි මගේ විශ්වාසය.

මා විශ්වවිද්‍යාල තුළ සිදු කිරීමට නියමිත මේ කාර්යයන්ට මේ සියලු දෙනාගේම සහාය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා යැයි පැවසීය.

අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පී.හැරිසන්, දයා ගමගේ, එරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරළ, මොහාන් ලාල් ග්‍රේරු, චම්පිකා ප්‍රේමදාස, ඒ.එච්.එම් ෆවුසි, එස්.බී නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.සී. දිසානායක, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ති විජේතුංග, අමාත්‍යවරයාගේ බිරිය සහ දරුවන් ද මේ අවස්ථාවට සහභාගී වූහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();