සමෘද්ධි බැංකු 200ක් ඉතා උසස් තත්ත්වයෙන් සංවර්ධනය කිරීමට රජය විශේෂ සැලසුමක් ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මේ කාර්යය සිදු කිරීමට පියවර ගන්නා බවත්, බැංකු වර්ධනීයව හොඳින් පවත්වා ගෙන යන නිලධාරීන්ට හා සමෘද්ධි පවුල් සවිබල ගන්වන නිලධාරීන්ට උසස්වීම් අනිවාර්යයෙන්ම ලබාදීමට කටයුතු කරන බවත් සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී. හැරිසන් මහතා පැවැසීය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
"ගැමි ජන ජීවිතය නංවාලීමේ අභියෝගය ජයගැනීමට මේ වසර අවසාන වීමට පෙර සමෘද්ධි පවුල්වලින් 10%ක් සවිබල ගැන්විය යුතුයි. සවිබල ගැන්වීමෙන් පසු එම පවුල්වලට ලබා දුන් සහනාධාරය නවතා අපහසුතා ඇති නව පවුලක් සඳහා ලබා දී එම පවුල ද සවිබල ගැන්වීමට පියවර ගත යුතුයි. මේ අයුරින් ග්‍රාමීය සියලු පවුල්වල ආර්ථික මට්ටම ඉහළ නැංවීමට කටයුතු කිරීම සමෘද්ධි නිලධාරියා සතු වගකීමක්.
සමෘද්ධිලාභීන්ට අභියෝග ජයගැනීමට මඟ පෙන්විය යුතුයි. උදාහරණ ලෙස ගොවි මහතකුට වතුර මෝටරයක් ලබා දුන් පසු එයින් ප්‍රයෝජන ගෙන තනිව ආර්ථිකය නංවා ගනිමින් ජීවත් විය යුතු බව දැනුම් දිය යුතුයි. සමෘද්ධිලාභී පවුල් 250ක් සිය වසමේ සිටී නම් සමෘද්ධි නිලධාරියා ඉන් පවුල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් සවිබල ගන්වා පෙන්විය යුතුයි. සවිබල ගැන්වීම යනු සමෘද්ධි සහන කපා හැරීම නොවේ.
සාර්ථකව සවිබල ගැන්වූ කණ්ඩායම පිළිබඳ නිසි අවධානයකින් සිට එම නිලධාරින්ට වැටුප් වර්ධක ලබාදීමට මා අදාළ අංශ වෙත උපදෙස් දුන්නා. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ උසස් නිල සඳහා පිටතින් බඳවාගැනීමට අමතරව දැනට සිටින සමෘද්ධි නිලධාරීන් සඳහා ද විධිමත් උසස් වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද මේ අනුව උපදෙස් ලබා දී තිබෙනවා.
මේ මස 31 වැනි දා ශ්‍රී ලංකාවේ හොඳම බැංකු තෝරා හොඳම බැංකු නිලධාරීන්ට විදෙස් සංචාර ලබාදීමටත්, සමෘද්ධි නිලධාරියාට එම බැංකුවෙන්ම ණය ලබාගැනීමට හැකි ක්‍රමවේදයකුත් සකස් කළ යුතුයි."


0 Comments