තමාගේ උත්සාහය කිරුළු පළදින්න නොව පුරවැසියා රජ කරවීමට බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉක්බාල් නගර් හි ඉදි වූ 'මොහොමදියා නගර්' සහ 'අබුරාර් නගර්' 63 සහ 64 වැනි උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
"අද දිනය මගේ ජීවිතයේ මා වැඩියෙන්ම සතුටට පත් ඓතිහාසික දිනයක්. මේ ජනතා අයිතියට පත්වන්නේ යහපාලන රජය ආරම්භ කළ යළි පිබිදුන උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ 63 වන සහ 64 වන ආදර්ශ ගම්මානයි. එනම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉක්බාල් නගර් හි ඉදි වූ 'මොහොමදියා නගර්' සහ 'අබුරාර් නගර්' ගම්මාන දෙකයි.
'මොහොමදියා නගර්' උදා ගම්මානය නව නිවාස 20කින් සහ 'අබුරාර් නගර්'උදා ගම්මානය නව නිවාස 25කින් සමන්විතයි. මේ ගම්මාන දෙක අංග සම්පූර්ණව ඉදිකිරීමට රුපියල් ලක්ෂ 613ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසුදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මේ උදා ගම්මාන දෙක සමන්විතයි. අප විවෘත කරනු ලබන සෑම ගම්මානයකටම ජල, විදුලිය, මාර්ග ආදී මුලික පහසුකම් ලබා දෙනවා.
මේ ගම්මාන දෙක ජනතා අයිතියට පත් කරන මොහොතේ දී නිවාස 25කින් සමන්විත තවත් උදා ගම්මානයක් අනෙක් භූමියේ ඉදි වෙමින් පවතිනවා. ඉදිරි මාස තුන ඇතුළත සේරුවිල පාලමේ වැඩ කටයුතු අවසන් වූ පසු ඒ පාලමෙන් ම පැමිණ මා ඒ තුන් වන ගම්මානය ද ජනතා අයිතියට පත් කරනවා .
යහපාලන රජය කළ ඒ විශිෂ්ට සේවාව මෙතැනින් නතර වන්නේ නෑ. අද දවසේ තවත් ප්‍රතිලාභීන් රැසකට අප සහන ලබා දෙනවා. පවුල් 45කට නිවාස අයිතිය හිමි වනවාට අමතරව ප්‍රදේශයේ අඩුආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක් වටිනා 'විසිරී නිවාස ණය' ලබා දෙනවා. තවත් ප්‍රතිලාභීන් 26කට රුපියල් ලක්ෂ 52ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. 'ශිල්ප සවිය' වැඩසටහන යටතේ තරුණ තරුණියන් 100 දෙනකුට රුපියල් ලක්ෂ 50ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පොත් කට්ටල ලබා දෙනවා. වකුගඩු රෝගී පවුල් 10කට රුපියල් ලක්ෂ 20ක් වටිනා නිවාස ආධාර ලබා දෙනවා. දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 63 දෙනකුට ඇස් කණ්ණාඩි ලබා දෙනවා. 'මොහොමදියාර් නගර්” සහ 'අබුරාර් නගර්' උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්වීමත් සමඟ මේ ප්‍රදේශයේ ජනතාවට හිමි වන ප්‍රතිලාභ මේවායි.
අද මේ උත්සවයට ඉම්රාන් මහරුෆ් තරුණ නායකයා සහභාගී වී සිටිනවා. ජ්‍යෙෂ්ඨ නායකයකු වන තුරෙයි රත්නසිංහම් මහතා ද මූතූර් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨයා වන අබ්දුල්ලා මහරුෆ් මහතා ද මෙහි පැමිණ සිටිනවා. සේරුවිල කොට්ඨාසයේ සංවිධායක වෛද්‍ය අරුණ සිරිසේන මහතා ද මෙහි සිටිනවා. මා ඔවුන්ට විශාල තෑගි හතරක් ලබා දෙනවා. ඒ ලබා දුන්නේ අලුත් අවුරුදු තෑගි කියා ඔබ සියලු දෙනාම සිතන්නට ඇති. නිවාස ගැටලුවෙන් පීඩා විඳින පවුල් 2,000කට නිවාස ණය ආධාර ලබාදීමේ අයැදුම් පත්‍රයි මා අද ඔවුන්ට ලබා දුන්නේ. එක් අයකුට අයැදුම් පත්‍ර 500 බැගින් ලබා දුන්නා. එම නිවාස ණය ලබාදීමට මා තවත් මාස තුනකින් මෙහි පැමිණෙන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.
මෙරට පවුල් 2,75,739කට නිවාස ගැටලු විසඳාගැනීමට වසර තුනක කාලයේ දී අප ආධාර උපකාර කර තිබෙනවා. යහපාලන රජය නිවාස ගැටලුව විසැඳීමට ලක්ෂ එක්ලක්ෂ අනුනවදහස් පන්සිය තිහක මුදලක් මේ වන විට වැය කර තිබෙනවා. මගේ ඉලක්කය උදා ගම්මාන 2,500ක් ඉදි කිරීමයි. අද වන විට උදා ගම්මාන 709ක් ඉදි වෙමින් පවතිනවා. 2019 වසරේ දෙසැම්බර් මස අවසන් වන විට තවත් උදා ගම්මාන 1,791ක් ඉදි කළ යුතුයි. ඒ ඉලක්කය කරා යෑමේ දී 2018 වසරේ උදා ගම්මාන 895ක් සහ 2019 වසරේ දී තවත් උදා ගම්මාන 895ක් ඉදි කළ යුතුයි. දින වශයෙන් බැලූ විට මේ වසරේ දී දිනකට උදා ගම්මාන 38ක වැඩ ආරම්භ කළ යුතුයි. ලබන වසරේ දී දිනකට 24 බැගින් උදා ගම්මානවල වැඩ කටයුතු ආරම්භ කළ යුතුයි. 2019 දෙසැම්බර් 31 වැනි දා වන විට උදා ගම්මානය 2,500ක් ඉදි කරන්නට හැකි දැයි අද සමහරුන් මගෙන් ප්‍රශ්න කර සිටිනවා. මේ කෙටි කාලයේ තවත් උදා ගම්මාන 1,791ක් ඉදි කරන්නට පුළුවන් ද කියා ප්‍රශ්න කරනවා. මේ දෙස බලා සමහරු හිනා වෙනවා. විහිලු කරනවා. විවේචනය කරනවා. බැණ වඳිනවා. රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස උදා ගම්මාන 2,500ක ඉලක්ක ජය ගන්නා බව මට බැණ වදින, විවේචනය කරන, හිනා වන, විහිලු කරන ඒ සියලු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා.
මේ දිස්ත්‍රික්කයට මැති ඇමැතිකම් නැතැයි කියා වේදිකාවේ දී කථික මහත්වරුන් ප්‍රකාශ කර සිටියා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මැතිවරණ ජයග්‍රහණවලට විශාල සහයෝගයක් ලබා දුන් බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. මැති ඇමැතිවරුන්ට වඩා පොදු ජනතාවට සේවය කරන්නට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා අවශ්‍ය සියලුම පහසුකම් සියල්ලක්ම මෙතුමන්ලාට මා ලබා දෙන බව සතුටින් ප්‍රකාශ කර සිටිනවා. තනතුරුවලට වඩා වටින්නේ මහජන සේවාවයි. තාන්න මාන්න, පට්ටම් මැති ඇමැතිකම්වලට වඩා වැදගත් වන්නේ මහජනතාවගේ හදවතේ තිබෙන ආශාව, බලාපොරොත්තුව, පැතුම ඉටු කිරීමයි. එසේ කරන්නට නම් මැති ඇමැතිකම් සියල්ලක් පැත්තකට දමා අප මහ පොළොවේ පය ගසා ජීවත් විය යුතුයි. දූවිල්ල පාගමින්, අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් අප ජනතාවට සේවය කළ යුතුයි. අප උදා ගම්මාන විවෘත කරන විට මා ඒ උදා ගම්මානයේ සෑම නිවසකටම යනවා. එවිට මිනිසුන්ගේ දුක පිළිබඳ අලුත් පාඩම් රැසක් අපට ඉගෙන ගන්නට ලැබෙනවා.මේ ගම්මානයේ සෑම නිවසකට ම මා වේගයෙන් ඇවිද යනවා ඔබ දකින්න ඇති. මගේ අමාත්‍යාංශය ද අද සේවය කරන්නේ ඒ ආකාරයටයි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය දිවා රෑ නොබලා 24 පැයම 365 දවසේම ජනතා සේවයේ නියැලෙනවා. නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ සියලුම දෙනා මේ විශිෂ්ට කාර්යයට ගෞරවාන්විත දායකත්වයක් ලබා දෙනවා.
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ නමින් ගම ඉදි කරමු යැයි අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉඩම් පරිත්‍යාග කරන අදහස ඉදිරිපත් කරන අවස්ථාවේ දී මට යෝජනා කර සිටියා. ඒ යෝජනාව සම්බන්ධයෙන් උන් වහන්සේට මා ගෞරව කර සිටිනවා. මා මේ ගම්මාන ඉදි කරන්නේ මටවත් මගේ පවුල් පරපුර උදෙසාවත් නොවෙයි.
විපක්ෂයේ මන්ත්‍රීවරයකු වී සිටි කාලයේ දී මා මෙහි පැමිණියේ කිසිදු රාජ්‍ය බලයක් නොමැතිවයි. ඒ කාලයේදීත් මා මෙහි පැමිණියේ මාගේ පෞද්ගලික වාහනයෙන්. අදත් මා මෙහි පැමිණියේ මාගේ පෞද්ගලික වාහනයෙන් අතින් තෙල්ගසාගෙනයි. මට හිමි වන ඉන්ධන දීමනාව, වැටුප, නිල වාහනය, නිල නිවාස සියල්ලක්ම මේ රටේ ජනතාවට නිවසක් ඉදිකිරීම වෙනුවෙන් කැප කරනවා. මේ රටේ නිවාස ගැටලුවෙන් පීඩා විඳින සුවහසක් ජනතාවට 2025 සැමට සෙවණ ලබා දී මෙරට පුරවැසි පරපුරට ඔටුනු පැළඳවීමට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත් සජිත් ප්‍රේමදාස සූදානම් බව මා සතුටින් ඔබට ප්‍රකාශ කරනවා."


0 Comments