Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගිනි පෙට්ටි අර්බුදයට කඩිනමින් විසැඳුම් ලබාදීමට පියවර

ශ්‍රී ලංකාවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයේ යෙදෙන්නන්ට අවශ්‍ය වන පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී ඇතිව තිබෙන ගැටලුවක් නිසා ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය පසුගිය දා කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශයේ දී හමු විය.

මෙහි දී ඔවුන් පෙන්වා දුන්නේ මීට මූලිකම හේතුව වී ඇත්තේ පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් රසායන ද්‍රව්‍ය ආනයන ක්‍රමවේදය හා ටෙන්ඩර් පටිපාටියේ ඇති අක්‍රමවත්භාවය පිළිබඳවය.

මෙහි දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බී. ඩී. ආර්. රාජන් මහතා මෙසේ පැවැසීය.

"ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමේ දී ඒවා විවෘත කරන මොහොතේ අමුද්‍රව්‍යවල සාම්පල් ඉදිරිපත් කරන්න ඕන. මීට පෙර තිබුණේ ටෙන්ඩර් සාම්පල් ලෙස පොටෑසියම් ක්ලෝරේට් හා රතු පොස්පරස් ග්‍රෑම් 500 – 1000 (1kg) අතර ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමටයි. නමුත් දැන් එක් වර්ගයක් කිලෝ ග්‍රෑම් 02ක ප්‍රමාණයක් ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ලබාදීමට සිදු වී තිබෙනවා. මේ ද්‍රව්‍ය වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයන් නිසා එවැනි ප්‍රමාණ සාම්පලයක් සමහර ගුවන් සේවා මඟින් ගෙන ඒමට අවස්ථාව ලබා දෙන්නේ නෑ. ඒ වගේම ඒවා (ITI) කාර්මික තාක්ෂණ ආයතනයට යවලා පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒ සඳහා සති 3 – 4ක පමණ කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට, ණයවර ලිපි ලබා ගැනීමට තවත් කාලයක් ගත වෙනවා. ඉන් පසුව ආයතන සොයා තොග ආ පසුව යළිත් ITI යවා පරීක්ෂා කරන්න ඕන. මේ සියල්ලම සඳහා මාස 03කට ආසන්න කාලයක් ගත වෙනවා. මේ ප්‍රමාද නිසා වෙළෙඳපොළේ අමුද්‍රව්‍ය හිඟයක් ඇති වී ගිනි පෙට්ටි හිඟයක් ඇති වීමට ද පුළුවන්. මේ තත්ත්වය නිසා දැන් අපට ගිනි පෙට්ටි නිෂ්පාදනය අත්හැර දැමීමට සිදු වී තිබෙනවා. එම නිසා අපට මේ සඳහා ඉතාමත් ඉක්මනින් විසැඳුමක් ලබා දෙන්න.

මීට පෙර අවස්ථාවකදීත් ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය කලට වේලාවට සැපයීමට නොහැකිවීම නිසා බො‍හෝ ගිනි පෙට්ටි කර්මාන්තශාලා මාස 03කට ආසන්න කාලයක් වසා දමන්නට එහි හිමිකරුවන්ට සිදු වුණා. මේ නිසා එම සමයේ රටේ ගිනි පෙට්ටි හිඟයක් ද ඇති වුණා. මේ ගිනි පෙට්ටි කර්මාන්තශාලාවල සේවය කරනු ලබන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්. ගිනි පෙට්ටි කර්මාන්තයේ සෘජු හා වක්‍ර රැකියා කරන පිරිස 8500ක් පමණ වෙනවා. ගිනි පෙට්ටි නිෂ්පාදන අමුද්‍රව්‍ය හිඟය නිසා කර්මාන්තශාලා වසා දැමුවහොත් එම පිරිසට රැකියා අහිමි වීම වැළැක්විය නොහැකියි."

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා

"ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් වශයෙන් ඔබ පත්ව තිබෙන තත්ත්වය ගැන මම කනගාටු වෙනවා. අපි ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එම රසායනික අමුද්‍රව්‍ය ගෙන්වීමට ඇති බාධක සියල්ලම ඉවත් කර ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි වෙලාවට ලබාදීමට මම පළමුවෙන්ම පියවර ගන්නවා. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය කඩිනමින් විසඳාදීමට මගේ අමාත්‍යාංශය මැදිහත් වීමට පියවර ගන්නවා. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සියල්ලම ඉදිරිපත් කර ඔබගේ ගැටලුවට විසැඳුමක් ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට ඒ වගකීම පවරනවා. දින කිහිපයක දී ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මේ අමුද්‍රව්‍ය ගැටලුව විසඳා දෙන්න කියලා. ඒ ආකාරයට විසැඳුණේ නැතිනම් මම මේක ඉහළට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කලබල නොවී අපි සාකච්ඡා කර මේ ගැටලුව විසඳා ගනිමු."

එහි දී ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය ඇමැතිවරයාගේ මැදිහත්වීමට ප්‍රශංසා කළේය.

අමාත්‍යාංශ අතිරේක ලේකම් එස්. බාලසුබ්‍රමනියම්, ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කේ. ඒ. එස්. හසීර් ද අලී මහත්වරු ද මෙ අවස්ථාවට සහභාගි වූහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();