මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සැමදා ශක්තිමත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
වැඩකරන ජනතාව වෙනුවෙන් ලේ, කදුළු සහ දහඩිය හෙළමින් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු කම්කරු නායකයන් වෙත උපහාර පුද කිරීමේ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
ලෝක කම්කරු දිනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයේ දී මෙරට වැඩකරන ජනතාවගේ අයිතීන් දිනාදෙමින් කම්කරු ව්‍යාපාරයට නව ජවයක් සහ ප්රබෝධයක් ලබාදුන් හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති නායකයින් අගයමින් ඔවුන් වෙනුවෙන් උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකළ සහ මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එවකට කම්කරු අමාත්‍යව සිටි ටී.බී. ඉලංගරත්න මහතා මෙන්ම පක්ෂයේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නියමුවන් වූ දිවංගත ආනන්ද දසනායක, හර්බට් වික්‍රමසිංහ, ඩී.සී. වීරසේකර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහ අලවි මවුලානා යන මහත්වරුන් ඇතුළු කම්කරු නායකයන් වෙනුවෙන් මෙහිදී උපහාර පුද කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරය සහ වැඩකරන ජනතාව වෙනුවෙන් කැපීපෙනෙන සේවාවක් ඉටුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ බවයි.
එමෙන්ම මෙම විශිෂ්ට චරිතවලට වටිනාකමක් ලබාදෙමින් ගුණ සැමරිය හැක්කේ ඔවුන් නොකිළිටි, පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ කටයුතු කළ සහ දූෂණය, වංචාව පිටු දකිමින්, ජනතා දේපළ සහ
වත්කම් පෞද්ගලික සුඛ විහරණය උදෙසා භාවිත නොකළ ආදර්ශවත් දේශපාලන නායකයින් වූ නිසා බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එවැනි උත්තම දේශපාලන චරිතවල අවශ්‍යතාවය අද මෙන් හෙටත් පවතින අතර, කුමන අන්දමේ දේශපාලන චරිත මතුවුනද එම චරිතවල අභ්‍යන්තරයේ දුටු දේ සහ දකින්නට ඇති දේ පිළිබඳ රටේ බුද්ධිමත් ජනතාව සිය පරිණත දේශපාලන අත්දැකීම් තුළ අවබෝධයෙන් කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙරට වැඩකරන ජනතාව වෙනුවෙන් ඉටුකළ හැකි උපරිම සේවය ඉටුකිරීමට රජය කැපවී සිටින බවයි.
හිටපු කම්කරු නායකයන් වෙත උපහාර පුද කරමින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, චන්දිම වීරක්කොඩි, ලසන්ත අලගියවන්න යන මැති ඇමැතිවරුන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ වෘත්තීය සමිති නායකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
0 Comments