මහනුවර ත්‍රිත්ව විදුහලෙන් බිහිවූ පදශක 4ක ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙලේ නොමැකෙන නාමයක් සටහන් කළ ක්‍රීඩකයන් අතර නාලන්දා විදුහලෙන් බිහිවූ රොෂාන් මහනාමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. හෙතෙම පසුකලෙක ජාතික කණ්ඩායමේ ප්රබලතම පිතිකරුවකු ලෙසත්, පන්දු රකින්නකු ලෙසත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම චරිතයක් බවට පත්විය.
වසර 1983දිත්, 1984දිත් පිට පිට ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලැබූ මේ කඩවසම් ක්‍රීඩකයා එවැනි ගෞරවයක් නාලන්දාවට ගෙන දුන් පළමු ක්‍රීඩකයා ද විය.
නාලන්දාවේ කනිෂ්ට ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දරමින් සිය ක්‍රීඩා රටාව මුවහත් කරගත් රොෂාන් 1984 වසරේ තම විදුහලේ පළමුපෙළ ක්‍රිකට් පිලේ නායකයා බවට පත්වූ අතර එම වසරේ පැවැති ආනන්ද - නාලන්ද 55 වැනි සුලෝහිත සංග්‍රාමයේදී ඊට වසර 12කට පෙර නාලන්දාවේම ප්‍රබල ක්‍රීඩකයකු වූ පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ පළමු නායකයා බවට පත්වූ බන්දුල වර්ණපුර මහතාගේ සුලෝහිත සංග්රාම වාර්තාව බිඳ දමමින් කාගෙත් අවධානය දිනාගත්තේය.
එම වසරේ සුලෝහිත සංග්‍රාමයේදී පැය පහකුත් මිනිත්තු 30ක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 145ක් රැස් කළ රොෂාන් විසින් බිඳ දමනු ලැබුවේ 1972දී බන්දුල වර්ණපුර මහතා තැබූ සුලෝහිත සංග්‍රාමයේ පිතිකරුවකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවය. වර්ණපුර මහතා විසින් නොදැවී ලකුණු 118ක් රැස් කරමින් තැබූ වාර්තාව බිඳ දැමූ රොෂාන් පිට පිට දෙවැනි වරටත් ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවේද එම වසරේදීමය. රොෂාන්ගේ මේ පාසල් වාර්තාව තවත් වසර 14ක් පුරා ජීවමානව තිබූ අතර පසුව එය 1998දී ශාන්ත කලවිටිගොඩ විසින් බිඳ දමනු ලැබීය.
පාසල් ක්‍රිකට් පිටියේ මහනාම නාමය ඉහළට ඔසවා තබමින් රොෂාන් පාසල් තරග බිමේ වාර්තා පිට වාර්තා තබා ඊට වසර දෙකකට පසුව එනම් 1986දී ජාතික කණ්ඩායමට සේන්දුවූයේ ඔබ්සර්වර් වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ද්විත්වයත් තුරුළු කරගනිමිනි. එය ඔහුගේ ක්‍රිකට් ජිවිතයට ලැබූ පන්නරයක් බව පසුකලෙක ඔහු කීවේය.
වසර 1986දී පාකිස්තානයට එරෙහිව මහනුවරදී සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ එවකට 20 හැවිරිදි වියෙහි පසුවූ රොෂාන් ඒ මාසයේදීම සී.සී.සී.පිටියේදී පාකිස්තානයට එරෙහිව සිය කුළුඳුල් ටෙස්ට් තරගයට සහභාගි විය.
රොෂාන්ගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය අවස්ථාව සටහන් වූයේ 1997 ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදීය. එය රොෂාන්ගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකේය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ද අමරණීය සිහිවටනයකි. එදා 1997 අගෝස්තු මස 2 වැනිදා ආර්.ප්‍රේමදාස පිටියේදී ආරම්භ වූ දෙපිල අතර පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මාවන් අතපත්තු මුලු ලකුණු සංඛ්‍යාව 39දී දැවී යාමෙන් පසුව සනත් ජයසූරිය සමග එක්වූ රොෂාන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරවීමට සමත්විය.
මිනිත්තු 753ක් කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 27ක් සමග එදා තරගයේදී රොෂාන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 225කි. ඉන්දීය පන්දු යවන්නන් දැඩි වෙහෙසට පත් කරමින් මහනාම සහ ජයසුරිය එක්ව එදා දෙවැනි කඩුල්ලට ගොඩනැගූ වාර්තාගත ලකුණු සංඛ්‍යාව 576ක් විය. එය දෙවැනි කඩුල්ලට පමණක් නොව ටෙස්ට් ඉනිමක ඕනෑම කඩුල්ලකට ගොඩනැගූ ඉහළම සම්බන්ධතාව ලෙස තවත් අවුරුදු 11ක් පුරා වාර්තා පොතේ ඉහළින්ම සටහන්වී තිබිණි. පසුව 2006 වසරේ ජූලි මාසයේ එස්.එස්.සී.පිටියේදී කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 624ක සම්බන්ධතාවක් ගොඩනගා බිඳ දැමූහ. එහෙත් එය අදටත් ලෝක ටෙස්ට් පිටියේ දෙවැනි කඩුල්ලේ හොඳම සම්බන්ධතාව ලෙස පවතී. රොෂාන් මහනාම සහ සනත් ජයසූරිය එක්ව ගොඩනැගූ ශ්‍රි ලංකා ඉනිම පසුව අත්හිටුවනු ලැබුවේ කඩුලු 6ක් දැවී ලකුණු 952ක් ලබා සිටියදීය. එය අදටත් ලෝක ටෙස්ට් තරග බිමේ එක් කණ්ඩායමක් ඉනිමකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. එදා තරගයේදී සනත් ජයසූරිය රැස් කළ ලකුණු සංඛ්‍යාව 340කි.
1996 දී ශ්‍රී ලංකා පිල එක්දින ලෝක ශුරයන් ලෙස කිරුළ දිනාගනිද්දී එම කණ්ඩායමේ ප්රබලතම සාමාජිකයකු බවට පත්වූ රොෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිහතමානී ක්‍රීඩකයකු ලෙස ප්රකටය.
පිතිකරුවකු ලෙසත්, විශිෂ්ටතම පන්දු රකින්නකු ලෙසත් රොෂාන් මහනාම තැබූ වාර්තා අදත් ක්‍රීඩාලෝලින්ගේ මතකයේ ස්වර්ණමය සටහන් පෙළකි. ඔහු 1999දී ජාත්‍යන්තර ක්‍රිකට් තරග බිමෙන් සමුගෙන පසුකලෙක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයකු ලෙස කීර්තිමත් කාර්යභාරයක් ඉටු කළේ ක්‍රීඩාවෙන් ලැබූ ගෞරවය ඒ අයුරින්ම රැක ගනිමිනි.
මීට වසර 34කට පෙර ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය දෝතට ගත් මේ විශිෂ්ට ක්‍රීඩකයා මේ මස 31 වැනිදා 52 වැනි වියට පා තබයි. ජීවිතයේ සැඳෑ සමයේදී වුවත් ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ද්විත්වය ඔහුගේ ක්‍රිකට් දිවියේ සදාකාලික මතක සටහනක් බවට කිසිදු සැකයක් නොමැත.
0 Comments