ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගයෙන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ලකුණු 13කින් පරාජයට පත්කළ චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වුහ.
තරගාවලියේ 28 වැනි තරගයේදී රාජස්ථාන් රෝයල් පිලට එරෙහිව ජය හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල තරග 8කින් 6ක් ජය ගෙන ප්‍රසාද ලකුණු 12ක් (0.514) සමගින් ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වුද චෙන්නායි පිල මේ තරගය ජය ගැනීමත් සමග ප්‍රසාද ලකුණු 12 (0.553)ක් සමගින් යළිත් පෙරමුණට පිවිසියේය. ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ (8) පසුවන දිල්ලි පිලට තරග 8කදී අත්වූ 6 වැනි පරාජය මෙයයි.
පූනේහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල ලකුණු 212ක් රැස්කළ අතර පිළිතුරු ලෙස දිල්ලි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 198ක් පමණි.
දිල්ලි පිළිතුරු ඉනිමේදී රිෂාබ් පාන්ට් සහ විජේ ශංකර් වේගවත් පිති හරඹයන් දියත් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සහ කළද එය අසාර්ථක විය. පාන්ට් පන්දු 45කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 79ක් රැස්කළ අතර ශකර් නොදැවී ලකුණු 51ක් රැස්කළේ හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගින් පන්දු 31කිනි.
පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන් ෂේන් වොට්සන් ෆෆ් ඩු ප්ලෙසිස් සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 102ක් රැස් කළේය. ඩු ප්ලෙසිස් ලකුණු 33කට දැවී ගිය අතර වොට්සන් පන්දු 40කින් ලකුණු 78ක් රැස්කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් සමගිනි.
ඉනිම අවසානයේ වේගවත් පිති හරඹයක් දියත් කළ නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 22ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 2කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් අම්බති රයිදු පන්දු 24කින් ලකුණු 41ක් ඉනිමට එක් කළේය. ඔවුන් දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ලකුණු 79ක් එක්කළේ පන්දු 36කිනි.
තරගයේ වීරයා සම්මාන ෂේන් වොට්සන්ට හිමිවිය.
චෙන්නායි - 211/4 (ඕවර 20) ෂේන් වොට්සන් 78, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 51, අම්බති රයිදු 41, ෆෆ් ඩුප්ලෙසි 33
දිල්ලි - 198/5 (ඕවර 20) රිෂාබ් පාන්ට් 79, විජේ ශංකර් නොදැවී 54, කොලින් මුන්රෝ 26 (කේ.එම්. අසීෆ් 43/2)
0 Comments