පුංචි එංගලන්තය නමින් ප්‍රකට නුවරඑළියේ රාජකීය තුරඟ සමාජය සංවිධාන කළ තුරඟ තරගාවලියේ කාගේත් අවධානය දිනාගත් ආණ්ඩුකාර කුසලානය අල්කසාබා අසු අයිති දීප්තිකා ජයකොඩි මෙනවියට සහ පූර්ණි එඩ්වඩ්ස් මහත්මියට හිමිවෙති. වසන්ත සමයේ පැවැති තුරඟ තරගාවලියේ අවසන් අදියර නුවරඑළිය තුරඟ තරග පිටියේදී පසුගිය සති අන්තයේ පැවැති අතර ප්‍රධාන ආරාධිතයන් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දසනායක, නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න හා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන යන මහත්වරු සහභාගිවී සිටියහ.
මෙයට පෙර තරගාවලි කිහිපයකදී ආණ්ඩුකාර කුසලානය හා ප්‍රධාන තරග කිහිපයක් ජය ගැනීමට සමත්වූ අල්කසබා අසු මෙවර ආණ්ඩුකාර කුසලානය සඳහාවූ තරගයේ අශ්වයන් 11ක් අභිභවා මුලින්ම තරගය නිම කළ අතර ඉන්දීය ජාතික අසරු කුල්දීප් සිං ජයග්‍රහණය කරා අසු මෙහෙය විය.
පසුගිය වසරේ තියුණු අවසානයකින් තරගය ජයගත් හසංග ජයරත්නගේ මෙහෙරාන් අසු මෙවර දෙවැනි ස්ථානයට පත්වූ අතර පළමු මීටර් 1200ක පමණ දුරක් වනතුරුම මෙහෙරාන්ගෙන්, අල්කසාබාට ප්‍රබල තර්ජනය එල්ල විය. එහෙත් මීටර් 1600ක දුරකින් සමන්විත තරගයේදී අල්කසාබා අසු අවසන් මීටර් 400දී මෙහෙරාන් පසුකරමින් තියුණු අවසානයකට ළගාවිය.
ආණ්ඩුකාර කුසලාන තරගය ජයගත් අල්කසබා අසුගේ අයිති දීප්තිකා ජයකොඩි මෙනවියට සහ පූර්ණි එඩ්වඩ්ස් මහත්මියට රන් ආලේපිත කුසලානය හා රුපියල් 130,000 මුදලක් පිරිනැමිණි. දෙවැනි ස්ථානයට පත්වූ මෙහෙරාන් අසුගේ හිමිකරු වූ හසංග ජයරත්න මහතාට රුපියල් 75,000ක් සහ තෙවැනි ස්ථානයට පත්වූ චාර්ලමේන් අසුගේ හිමිකරු ජේම්ස් මැතිව්ස් මහතාට රුපියල් 35,000ක් බැගින් මුදල් ත්‍යාග හිමිවූහ.
මීටර් 2000 ක දුරකින් සමන්විත වූ රැජන කුසලාන තරගය හසංග ජයරත්න මහතාට අයත් එනදර් ඒස් අසු මුලින්ම අවසන් කළේය. එම තරගය පහසුවෙන් ජයගත් එනදර් ඒස් අසුගේ හිමිකරු හසංග ජයරත්න මහතාට රුපියල් 175,000ක මුදලක් පිරිනැමුණු අතර දෙවැනි ස්ථානය ෆියර්ලස් අශ්වගාලට අයත් සෙලෙස්ටියල් ෆයර් හා තෙවැනි ස්ථානය රියෙන්සි එඩ්වඩ් - පූර්ණි එඩ්වඩ් යවලට අයත් කොලරාටෝ අසු දිනාගත්හ.
තරග ප්‍රතිඵල මෙසේය:
මීටර් 1600 ආණ්ඩුකාර කුසලාන තරගය : 1. දීප්තිකා ජයකොඩි මෙනවියට සහ පූර්ණි එඩ්වර්ඩ් මහත්මියට අයත් අල්කසබා - (අසරුවා - කුල්දීප් සිං), 2.හසංග ජයරත්න මහතාට අයත් මෙහෙරාන්(අසරුවා- ඉම්රාන් ඛාන්), 3.ජේම්ස් මැතිව් මහතා චාර්ලමේන් - (අසරුවා - ප්‍රවීන් ෂින්ඬේ)
මීටර් 2000 රැජන කුසලාන තරගය: 1.හසංග ජයරත්න මහතාට අයත් එනදර් ඒස් (අසරුවා - ඉම්රාන් ඛාන්), 2. ෆියර්ලස් අශ්වගාලට අයත් සෙලෙස්ටියල් ෆයර් (අසරුවා - ඒ. විශ්වනාත්), 3. රියෙන්සි එඩ්වර්ඩ් - පූර්ණි එඩ්වර්ඩ් යුවලට අයත් කොලරාටෝ (අසරුවා - කුල්දීප් සිං)
මීටර් 1400 නගරාධිපති කුසලාන තරගය : 1.ඬේවිඩ් ඇන්තනී මහතාට අයත් ගෝ ග්‍රීන්, (අසරුවා - ඒ. රාමු), 2.රියෙන්සි එඩ්වර්ඩ් - පූර්ණි එඩ්වර්ඩ් යුවලට අයත් ගසාකි (අසරුවා - චාල්ස් පර්කින්ස්), 3.අනුර දෙල්ගොඩ මහතාට අයත් ටොපිඩෝ (අසරුවා - ප්‍රවීන් ශින්ඬේ)
මීටර් 1400 හැන්ඩි කප් තරගය: 1.ධනවර්දන ගුරුගේ මහතාට අයත් ක්‍රාබි (අසරුවා - චාල්ස් පර්කින්ස්), 2.හසංග ජයරත්න මහතාට අයත් ස්කාලට් ප්‍රින්ස් (අසරුවා - ඉම්රාන් ඛාන්), 3. ජේම්ස් මැතිව්ස් මහතාට අයත් ස්ට්‍රෝමි පෙට්‍රල් (අසරුවා - රවී කුමාර්)
මීටර් 1400 ග්රෑන්ඞ් හොටෙල් කුසලාන තරගය : 1.හසංග ජයරත්න මහතාට අයත් වේටිං ෆෝ ග්ලෝරි (අසරුවා - ඉම්රාන් ඛාන්), 2.අනුක සූසා මහතාට අයත් කොස්මො පොලිටන් (අසරුවා - ඒ. විශ්වනාත්), 3.ඬේවිඩ් ඇන්තනී මහතාට අයත් මිස් අයිවරි (අසරුවා -රවී කුමාර්)
0 Comments