Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජකීයයෝ අපරාජිතභාවය රැක ගනිති

Author(s): 
ෆවුස් මොහොමඩ්

වෙස්ලි කණ්ඩායම වෙතින් එල්ලවූ අනපේක්ෂිත අභියෝගය මැඩ පවත්වා ලකුණු 18-17ක තියුණු ජයක් වාර්තා කළ රාජකීය විදුහල් පිල අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය අපරාජිතභාවය තවදුරටත් රැක ගැනිමට සමත්විය.

සී.ආර්.පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 17-15කින් පෙරමුණ ගත් වෙස්ලි විදුහල් පිල එල්ල කළ පීඩනය හමුවේ රාජකීය කණ්ඩායම ජයලැබුවේ තීරණාත්මක දඬුවම් පහර දුලාන් ගුණවර්ධන විසින් සාර්ථක කරගනු ලැබීමෙනි.

දෙපිලේම ක්‍රීඩාලෝලීන්ගේ අවිනීත හැසිරීම හේතුවෙන් තරගය නියමිත කාලයට වඩා වේලාසනින් නතර කිරීමට තරග විනිසුරුවරයාට සිදුවූ අතර ඒ වනවිට රාජකීය විදුහල් පිල ජයග්‍රහණය තහවුරු කරගෙන සිටියේය.

තරගය ආරම්භයේදීම දෙපිලම දඬුවම් පහර 2ක් සාර්ථක කරගැනීමෙන් ලකුණු 3-3ක සම තත්ත්වයේ පසුවූවත් සසිත සියාත් තැබූ අගනා උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ දුලාන් ගුණවර්ධන රාජකීය විදුහල් පිල ලකුණු 10-3කින් ඉදිරියට ගෙන ගියේය.

අනතුරුව පරනිදරන්ගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ මුර්ෂිද් සුබේර් වෙස්ලි විදුහල් පිලේ ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ දමමින් දෙපිලේ ලකුණු සංඛ්‍යාව නැවතත් 10-10කින් සම කරගත්තේය. ඊට මොහොතකට පසුව කවින්දන පෙරේරාගේ විශිෂ්ට උත්සාහක දිනුමක් සුබේර් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 17-10කින් පෙරමුණ ගැනීමට වෙස්ලි විදුහල් පිල සමත්විය. කෙසේවෙතත් පළමුභාගය නිමාවීමට පෙර හිමන්ත හිරුෂාන් තැබූ උත්සාහක දිනුමකින් සිය ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ දමාගත් රාජකීය විදුහල් පිල අපරාජිතභාවය රැකගැනීමේ සටනට සාර්ථකව මුහුණ දුන්නේය.

දෙවැනි භාගයේදී දෙපිල අතර කරට කර සටනක් දක්නට ලැබුණු අතර එහි වාසිය තම පිල දෙසට හරවා තැබූ දුලාන් ගුණවර්ධන දඬුවම් පහරක් සාර්ථක කරගැනිමෙන් ලකුණු 18-17කින් පෙරමුණ ගැනීමට රාජකීයයෝ සමත්වූහ.

ඉසිපතනය තරගය සමකර ගනී

මේ අතර මහනුවර ත්‍රිත්ව විදුහල් පිල සහ ඉසිපතන විදුහල් පිල අතර හැව්ලොක් පිටියේ පැවැති තරගය ලකුණු 12-12ක් ලෙස සමකර ගැනීමට ඉසිපතන විදුහල් පිල සමත්විය. තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 12-6කින් පෙරමුණ ගත් ත්‍රිත්ව විදුහල් පිල එල්ල කළ අභියෝගය හමුවේ සැලසුම් සහගතව ක්‍රීඩා කළ ඉසිපතන විදුහල් පිල තරගය සමකර ගත්තේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලැබූ දඬුවම් පහරක් නායක මනිල්ක රුබේරු විසින් සාර්ථක කරගනු ලැබීම හේතුවෙනි.

ත්‍රිත්ව විදුහල් පිල ගෝලයක් සහ උත්සාහක දිනුමක් රැස් කළ අතර ඉසිපතන විදුහල් පිල දඬුවම් පහර 4ක් ලබාගත්තේය. මේ දඬුවම් පහර 4ම සාර්ථක කරගනු ලැබුවේ නායක රුබේරු විසිනි.

සා.ජෝශප් පිලට 26-12ක ජයක්

තරගයේ පළමුභාගයේදී ලකුණු 19-0කින් පෙරමුණ ගැනිමට සමත්වූවත් දෙවැනි භාගයේදී සහිරා විදුහල් පිල වෙතින් එල්ල වූ අනපේක්ෂිත ප්‍රහාරය අවසන් මොහොතේ පාලනය කරගත් මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 26-12ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

සාන්ත ජෝශප් විදුහල් පිල ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර සහිරා විදුහල් පිල ගෝලයක් සහ උත්සාහක දිනුමක් රැස් කළේය.

සා.පීතර ජය ගනී

අන්තර් පාසල් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ කුසලාන වටයේ තවත් තරගයකින් මහනුවර කිංග්ස්වුඩ් විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 20-10ක ජයක් අත්කරගැනීමට බම්බලපිටිය සාන්ත පිතර විදුහල් පිල සමත්විය. මෙවර තරගාවලියේ අපරාජිතව සිටින සාන්ත පීතර විදුහල් පිල ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් එල්ල කළ අතර කිංග්ස්වුඩ් කණ්ඩායම ගෝලයක් සහ දඬුවම් පහරක් එල්ල කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();