සියලු ජාතීන්ගේ විශ්වාසය හා ගෞරවය දිනාගෙන යහපාලනය ඇතිකිරීම සඳහා අල්ලස දූෂණයට එරෙහිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු සුදුසුම නායකයා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු දීර්ඝ දේශපාලන ඉතිහාසයක් හා අත්දැකීම් ඇති පළපුරුදු නායකයකු බවත් ගත වූ වසර කිහිපය තුළ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නම ඉහළට ඔසවා තැබීමට ජනාධිපතිවරයා සමත් වූ බවත් ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කෙළ් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව නව ආසන සංවිධායක ලෙස පත්වූ නීතිඥ රජික කොඩිතුවක්කු මහතාගේ කාර්යාලයක් විවෘත කිරීම නිමිත්තෙන් බොරලැස්ගමුවේ ඊයේ (15) පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා මෙසේද පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඇති නායකයෙක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දේශපාලනයේ නිරතවීමට තනතුරු අවශ්‍ය නැහැ.
අපි දේශපාලනය කරන්නේ තනතුරු වෙනුවෙන් නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. සන්ධානයේ මහලේකම් තනතුර මට ලබාදුන් තනතුරක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි එක්සත් ජාතික පක්ෂයට හෝ පොහොට්ටුවට යාමේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මම සහතිකව කියනවා. අපි පොහොට්ටුවේ අයටත් කියනවා ශ්‍රීලනිපයෙන් යන්නේ නැහැ කියා සහතික වෙන්න කියලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෑම අවස්ථාවකදීම අල්ලස දූෂණයට එරෙහිව කටයුතු කර තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිද්ධියට එරෙහිව අවශ්‍ය සියලු පරීක්ෂණ සිදුකරනවා. මේ වනවිටත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනෙක් තැනැත්තාත් කඩිනමින් අත්අඩංගුවට ගන්නවා.
රජික කොඩිතුවක්කු කියන්නේ අපේ පක්ෂයට උදව් කරන තරුණ නායකයෙක්. ඔහුගේ දේශපාලන ගමනට අපි සුබපතනවා.
ඡායාරූපය - නිරෝෂන් බෙට්පොළ


0 Comments