වසර 10කට පමණ පසුව කොදෙව් දූපත්හිදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග අඩු කිරීමට බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කරයි. දැනට බටහිර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුහුණදී ඇති දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා - කොදෙව් තරගාවලියේ වෙනස්කම් කිරීමට ප්‍රධානතම හේතුවවී ඇතැයි වාර්තා වේ.
ටෙස්ට් තරග 03කින් සමන්විත තරගාවලියේ ටෙස්ට් තරගයක් වෙනුවට එක්දින තරග 3ක් හෝ 20-20 තරග 2ක් පැවැත්වීමේ යෝජනාව ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේවන විටත් දන්වා තිබේ. එම යෝජනාව පිළිබඳ දෙරට ක්‍රිකට් ආයතන එකඟතාවකට පැමිණියහොත් ටෙස්ට් තරගාවලිය තරග දෙකකට සීමාවනු ඇත. ටෙස්ට් තරගයක් අහිමි කොට ඒ වෙනුවට පැවැත්වීමට යෝජිත එක්දින තරග 3කින් හෝ 20-20 තරග 2කින් විශාල ආදායමක් ලබා ගැනීමේ හැකියාව කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙනු ඇතැයි විශ්වාසයවී තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය අද ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානීන් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත්වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල මේ මස 25 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්වන අතර මැයි 30දා තුන්දින පුහුණු තරගයට එක්වීමට සූදානමින් සිටී. පළමු ටෙස්ට් තරගය ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී ජුනි 6 වැනිදා ආරම්භ වීමට නියමිතය අතර දෙවැනි ටෙස්ට් තරගය ඩරන් සැමී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජූනි 14වැනිදා හා තෙවැනි ටෙස්ට් තරගය කින්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ජූනි 23 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත.


0 Comments