Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ආසියාවේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් කිරීම අරමුණු කරගෙන ක්‍රියා කරනවා

ශ්‍රී ලංකාව ආසියාවේ ව්‍යාපාර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම අරමුණු කරගනිමින් කටයුතු කරමින් සිටින බව සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහතා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර අවස්ථා වැඩිදියුණු කිරීමට රජය ක්‍රියා කරන බවද ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මධ්‍යස්ථව පිහිටීම නිසා විදේශීය ආයෝජකයන්ට ඉතා වැදගත් වෙන බව ද මෙරට සිට සෑමරටකම සම්බන්ධතා පැවැත්විය හැකි බවද කීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ පෙරේදා (17) කොළඹ ශ්‍රැන්ග්‍රී-ලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ආරම්භ කළ ‘බලයේ අන්තක්‍රියා‘ නම් ආයියානු රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟ එක්ව සිදුකරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

අපි විශාල වැඩකොටසක් මේ වන විට සිදු කරනවා. නමුත් අපි ඒවා විශාල ලෙස ප්‍රචාරණය කරන්නේ නැහැ.ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විශාල වැඩ කොටසක් සිදුකරනවා. ආසියානු රටවල් සමඟ අන්තක්‍රියා පවත්වාගෙන යාමට මෙය වැදගත් වෙනවා.මේ වැඩසටහන ආරම්භ කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙනවා.ශ්‍රී ලංකාව රටවල් අතර පවත්වාගෙන යන සම්බන්ධතා රටින් රටට විවිධාකාර වෙනවා. පසුගිය වසර තුනක කාලයක සිට අප අනෙකුත් රටවල් සමඟ පවතින සම්බන්ධතා සමබරව පවත්වාගෙන යනවා.එය විශේෂයෙන් ආසියානු රටවල් සමඟ පමණක් නොවේ. අප සම්බන්ධතා පවත්නා සෑම රටක් සමඟම සමබරව සම්බන්ධතා පවත්වාගෙන යනවා.ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට ආයෝජනයට හා ආර්ථිකයට සම්බන්ධ වීමට මේ වැඩසටහන් උපකාර වෙනවා.

ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක කාලයේ සිට සෘජු විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළක නිරතව සිටිනවා.එය ආසියානු රටවල් සමඟ විශේෂයි.ශ්‍රී ලංකාවට සෘජු විදේශීය ආයෝජන සිදු කිරීමට වැදගත් කාරණා ගණනාවක් පවතිනවා. අනෙකුත් ආසියානු රටවලට වඩා නිදහස් අවස්ථා ලබාදීම සිදුකරනවා.

සියලුම ආසියානු රටවල් සමඟ කිසිදු ගැටලුවක් නොමැතිව ඉතා හොඳ රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඕනෑම ආසියානු රටක ආයෝජකයන් පැමිණිවිට ශ්‍රී ලංකාව ඔවුන් සාදරයෙන් පිළිගනු ලබනවා. අපට විශේෂ හවුල්කරුවන් නැහැ. ආසියාවේ සෑම රටක්ම අපට හවුල්කරුවන්.සෑම ආසියානු රටක්ම අපට ඉතා වැදගත්.මෙරට පිහිටීම දකුණු දිග රටවල් හා දකුණු ආසියානු රටවලට ආයෝජන සඳහා ඉතා වැදගත් වෙනවා.

රජයේ නව නීති යටතේ මේ වැඩසටහන පරිපූරණ තත්ත්වයට පත්වෙනවා. භාණ්ඩ 1200ක පමණ බදු ඉවත් කර තිබෙනවා. අපගේ වෙළෙඳපොළ පුළුල් කරගැනීම සඳහා අමෙරිකාව,යුරෝපා සංගමය,ඉන්දියාව,චීනය, සිංගප්පූරුව,ජපානය, තායිලන්තය සමඟ විවිධාකාර වූ වෙළෙඳ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.මේ වසරේ ජූලි මාසයේදී තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට කටයුතු කරනවා.ජනවාරි මාසයේදී සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුම අපේ රටට ඉතා වැදගත් වෙනවා.සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම මගින් ආසියානු සැපයුම් දාමයට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

අපගේ දේශීය කර්මාන්ත අපනයන තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වෙනවා.විදේශීය ආයෝජිකයන්ට ආයෝජනය කිරීමට අවස්ථා උදා කිරීම සඳහා නිදහස් වෙළෙඳ කලාප බිහි කරනවා. හම්බන්තොට අපනයන සැකසුම් කලාපය,බිංගිරිය සහ මාවතගම ඉදිකරන නිදහස් වෙළෙඳ කලාප තුළින් විදේශීය ආයෝජකයන්ට ආයෝජනය කිරීම සඳහා අවස්ථා උදාවෙනවා.

මෙහිදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ විධායක නිලධාරී,මහ ලේකම් ධාරා විජයතිලක මහත්මිය සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මෙල් මහතාද අදහස් දැක්වූහ.

ඇෆ්ගනිස්ථානය,බංග්ලාදේශය,ඉන්දියාව,ඉන්දුනීසියාව,ජපානය,කොරියාව,මාලදිවයින,නේපාලය,පාකිස්තානය,තායිලන්තය,වියට්නාමය නය රටවල නියෝජිතයන් හා ව්‍යාපාරිකයන් රැසක් මේ අවස්ථාවට එක් වූහ.

සඳුන් රමේෂ්
ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();