Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුගතදාස ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් අවසන් නෑ

Author(s): 
ෆවුස් මොහොමඩ්

ධාවන පථය තරගවලට දුන්නේ තාවකාලිකවයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිවැරැදි ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව ඉදිකිරීම් කටයුතු ලබාගත් තම සමාගම විසින් සකස් කරනු ලැබු සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථ නැවත එළීමේ ක්‍රියාවලිය සහ සෙසු පිළිසකර කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවට පත් කර නොමැති බවත්, එය නිල වශයෙන් මෙතෙක් සුගතදාස පාලනාධිකාරියට බාරදී නොමැති බවත් එම ක්‍රීඩාංගණයේ ඉදිකිරිම් කටයුතු සිදුකරනු ලැබූ ඇක්සස් කොනිකා ජේ.වී. සමාගම පවසයි.

එසේ වුවත් අවශ්‍යතාව සළකා බලා පසුගියදා පැවැති තරගාවලි කිහිපයක් සඳහා එම ක්‍රීඩාංගණය තාවකාලිකව ලබාදිමට පියවර ගත් බව ද ඔවුහු සඳහන් කරති. එම ක්‍රීඩාංගණයේ තවත් සිවිල් ඉංජිනේරුමය කාර්යයන් කිහිපයක් සිදු කිරිමට නියමිතව තිබෙන බැවින් කෘත්‍රිම ධාවන පථයේ ඇතැම් ස්ථානවල ජල පැල්ලම් මතුවීම ගැටලුවක් ලෙස සැළකීමට නොහැකි බව එම සමාගම කියා සිටී.

ඒ අනුව අද සිට මේ මස 31 වැනිදා දක්වා ක්‍රීඩාංගණය සේවාලාභින් වෙත ලබාදීම අත්හිටුවා එහි ඉතිරි ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම නිමා කිරීමට නියමිත බවත්, 31 වැනිදා සුගතදාස පාලනාධිකාරිය වෙත නිල වශයෙන් ක්‍රීඩාංගණය බාර දෙන බවත් ඇක්සස් සමාගම ප්‍රකාශ කරයි.

කොනිකා ජාත්‍යන්තර සමාගම හා ඒකාබද්ධව මෙරට ක්‍රියාත්මක වන ඇක්සස් සමාගම විසින් සිදුකරනු ලැබූ සුගතදාස ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථයේ ඇතැම් ස්ථානවල තෙතමනය රැඳී පවතින බවට එහි අධීක්ෂණය බාරව කටයුතු කළ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් තම සමාගම වෙත යොමුකරනු ලැබූ ලිපිය සම්බන්ධව පැහැදිලි කරමින් එම සමාගමේ ප්‍රකාශකයකු මේ අදහස් පළ කළේය.

‘මීට ඉහතදී මේ ක්‍රීඩාංගණයේ තිබූ නිල් පැහැති ධාවන පථයට වඩා මෙවර සකස් කළ ධාවන පථය තාක්ෂණික වශයෙන් හාත්පසින්ම වෙනස්. මෙවර ධාවන පථය ඉදිකර ඇත්තේ දියර පොලියුරතීන් ලේයර් තුනකින් සමන්විතවයි. ඊට රබර් මිශ්‍ර කර තිබෙනවා. පළමු ලේයරය දමා ඇත්තේ ඊට යටින් ඇති කොන්ක්‍රීට් සමග තදින් ඇලෙන පරිදියි. එබැවින් මේ ලේයරය හරහා ජලය ගමන් කළ නොහැකියි. ෆෝමින් ලේයරය නමැති දෙවැනි ලේයරය තුළ ඉතා කුඩා රික්තයක් පවතිනවා. එය ධාවන පථයේ වේගවත් බව රැකගැනිමට ඉවහල් වෙනවා. මතුපිටින් පෙනෙන රතු පැහැති ලේයරය තුන්වැන්නයි.’ කෘත්‍රිම ධාවන පථයේ සැකස්ම පිළිබඳ එම සමාගමේ ප්‍රකාශකයා එසේ පැහැදිලි කළේය.

ක්‍රීඩාංගණයේ ‘ඩී’ නමින් හඳුන්වනු ලබන ස්ථානවල ඝනකම ඉතා වැඩි බවත්, විශේෂයෙන් හෙල්ල විසි කිරිම්, උසපැනීම, රිටි පැනීම, දුර පැනීම හා තුන්පිම්ම පැනීම සිදුකරනු ලබන ස්ථානවල ඝනකම මිලිමීටර් 20කට වැඩි බවත් එම ප්‍රකාශකයා පවසයි. සෙසු ස්ථානවලට සාපේක්ෂව මේ ස්ථානයේ දෙවැනි ලේයරය ද ඝනකමින් වැඩි බවත්, ‘ඩී’ නමින් හඳුන්වනු ලබන ස්ථානයේ මෙලෙස ඝනකම වැඩි කරමින් ඇතුළත කානු පද්ධතියට බෑවුම් වන ලෙස තුන්වැනි ලේයරය එළීමේදි ස්ථාන කිහිපයක දෙවැනි ලේයරය දෙසට කුඩා සිදුරු ඇතිවිය හැකි බවත් ඔහු පැහැදිලි කළේය.

මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඉන් ධාවන පථයේ පැවැත්මට කිසිදු බලපෑමක් සිදුනොවන බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම එය ඉතා පහසුවෙන් වැළැක්විය හැකි බව තම සමාගම ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ලිඛිතව දැන්වූ බව ද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.

දැනටමත් මේ ධාවන පථයට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ (IAAF) දෙවැනි ශ්‍රේණියේ සහතිකය ලැබී ඇතැයි ද එම සමාගම කියා සිටී. මතුපිට යොදා ඇති රතු පැහැති රබර් මිශ්‍රිත පොලියුරතීන් ලේයරය වැසෙන තරමට අධික වර්ෂාවක් පතිතවී මිනිත්තු 15කින් එම ජලය බැසයන්නේ නම් එය ඉතා සතුටුදායක තත්ත්වයක් බවත්, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයට අනුව එය මිනිත්තු 20ක් බැසයාම ප්‍රමාණවත් බවත් එම සමාගම අවධාරණය කරයි.

මේ අතර සුගතදාස ක්‍රීඩාංගණය තරගාවලි සඳහා වෙන් කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබුවේ ධාවන පථයේ ගැටලුවක් නිසා නොවන බව නිවේදනයක් නිකුත් කරමින් සුගතදාස පාලනාධිකාරිය දන්වා සිටී. එහි යගුලිය හා මිටිය වීසි කිරීමේ ස්ථාන, බාධක දිවිමේ ස්ථාන තව දුරටත් නිවැරැදි කළ යුතු බව පසුගියදා මේ ක්‍රීඩාංගණය තරග සඳහා ලබාදීමේදී ඉදිකිරිම් සමාගම පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();