GSP + බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟ ඇඟලුම් අපනයනය වැඩි වී ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
“ඇමරිකාවෙන් GSP + සහනය වැනි විවිධ වෙළෙඳ ප්‍රතිලාභ ලැබීමත් සමග අපගේ ඇඟලුම් අපනයන වැඩිවෙලා තියෙනවා. 2017 වසරේදී අපගේ වාර්ෂික අපනයන වටිනාකම ඩොලර් බිලියන 4.8 ක් (4.8 Dollar Billion) වුණා. අප මේ වසර අවසාන වන විට ඩොලර් බිලියන 5ට වැඩි අපනයන ආදායමක් අපේක්ෂා කරනවා.” යැයිද දන්වා සිටියේ ය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා (මැයි 10 දා) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී AISEX 2018(අයිසෙක් 2018 ඇඟලුම් කර්මාන්ත මහා ප්‍රදර්ශනය) විවෘත කිරීමේ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.
“අපි මේ වසරේදී බලාපොරොත්තු වෙනවා ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට ඉතාමත් හොඳ කාලයක් උදාවේවි කියලා. ඒ සඳහා මේ ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනාගේ කැපවීම හා සහයෝගය අවශ්‍ය වෙනවා. ඒවගේම ඔබ ඔබගේ හැකියාවන් හා දක්ෂතාවයන් පෙන්වන්න ඕන. ඒ වගේම අපි නවීන තාක්ෂණය සමඟ මෙම ඇඟලුම් ක්ෂේත්‍රයේ සිදුවන සියලුම අභියෝගවලට මුහුණ දෙන්න ඕන. නැතිනම් ඊළඟ පියවරට යාමට අසීරු වෙනවා. මෙවැනි අභියෝගවලට මුහුණදීමට නම්. තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදීම, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නව තාක්ෂණ භාවිතා කිරීම මෙන්ම අපට සමීප සාක් රටවල්වලින් අමුද්‍රව්‍ය අපනයනය කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපි නවීන තාක්ෂණය සමඟ ඩිජිටල් මුද්‍රණ, ඩිජිටල් සැලසුම් නිර්මාණ භාවිතා කිරීමටද යොමුවිය යුතු වෙනවා.” යැයි පැවසීය.
ද්වි වාර්ෂිකව පැවැත්වෙන මෙම AISEX ඇඟලුම් ප්‍රදර්ශනය මුලින්ම ආරම්භ කරන ලද්දේ 1998 වසරේදීය. මෙවර පැවැත්වෙන්නේ 08 වැනි වරටය. මෙම ඇඟලුම් ප්‍රදර්ශනය සඳහා ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ අතිවිශාල පාර්ශ්වකරුවන් පිරිසක් සහභාගි විය. ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනය, ඒකාබද්ධ ඇඟලුම් සංසදය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයද එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරති.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඇඟලුම් ආයතනයේ සභාපති මහාචාර්ය ලක්‍දාස් ඩී.ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ සභාපති එම්.ඒ.තාජුඩීන්, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ යන මහත්වරු සහභාගී වූහ.


0 Comments