Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප්‍රමුඛ බැංකු ගනුදෙනුකරුවන්ට මේ වනවිට මිලියන 2694ක් ගෙවලා

Author(s): 
ජයසිරි මුණසිංහ

තමන් තැන්පත් කළ මුදල් ආපසු නොලැබේ යැයි වසර 10ක් සිත්තැවුලෙන් සිටි ප්‍රමුඛ බැංකුවේ ගනුදෙනුකරුවන්ට සහනයක් ලබාදෙමින් රුපියල් මිලියන 2694ක මුදලක් ඔවුන්ට මේ වනවිට ආපසු ගෙවා ඇත.

ප්‍රමුඛ බැංකුවේ වත්කම් හා වගකීම් පැවැරී ඇති ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මේ කටයුතු ඉටුකරමින් සිටින අතර, ඔවුන් තැන්පත්කරුවන්ගේ තැන්පතුවලින් සියයට 85ක් පමණ මේ වනවිට ආපසු ගෙවා අවසන් බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අදාළ වත්කම සහ වගකීම් 2007 අගෝස්තු 01 දින ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව වෙත පවරන ලදී. මෙකී වත්කම් සහ වගකීම් පැවරීමේදී දෙන ලද කොන්දේසිවලට අනුව, තනිපුද්ගල සහ ආයතනික තැන්පත්කරුවන් සඳහා රුපියල් මිලියන 263033 ක මුදල ආපසු ගෙවීමේ වගකීම අදාළ වත්කම් උපලබ්දි කිරීම මත ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දස අවුරුදු වැඩසටහනකට අනුව 2017 – 12 – 03 දිනෙන් අවසන් වන පරිදි හඳුන්වා දෙන ලදී.

එ යටතේ බැංකුව මගින් තනි පුද්ගලයන් විසින් ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත් කරන ලද මුදල් රුපියල් මිලියන 1,204.49 ක මුදලක් අදාළ තැන්පතු ආපසු ගෙවීමේ වැඩසටහන යටතේ දැනටමත් ගෙවා අවසන් කර ඇත. ණයකර බවට පරිවර්තනය කරන ලද ආයතනික තැන්පත්කරුවන්ගේ තැන්පතු සඳහා ණයකර පොලියද සමඟ රුපියල් මිලියන 1,489.33ක් ගෙවා නිම කර ඇත. ඒ අනුව ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවට අදාළ තැන්පත්කරුවන් වෙත ගෙවා නිදහස් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 2,693.82 වේ.

තැන්පත් මුදල් ගෙවීම සඳහා අරමුදල් සපයා ගැනීමේදී ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව රුපියල් මිලියන 1910.29 ක මුදලකුත් , ජාතික සංවර්ධන භාර අරමුදලේ රුපියල් මිලියන 783.50ක මුදලකුත් යොදවා ඇති බව ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වැඩබලන සහකාර සාමාන්‍යාධිකාරී කපිල කීරවැල්ල මහතා පවසයි. තැන්පත්කරුවන් ඉදිරිපත් නොවීම නිසා ඉතිරිව ඇති තැන්පත් මුදල්ද ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත්කරුවන්ගේ ඉදිරිපත්වීම මත ඉතා ඉක්මනින් ගෙවීමට ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සාමාන්‍යාධිකාරි ප්‍රමුඛ කළමනාකාරිත්වය විසින් කටයුතු සම්පාදනය කර ඇති බව ද සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියි.

රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් සහ මගපෙන්වීම මත ප්‍රමුඛ ඉතිරිකිරීමේ හා සංවර්ධන බැංකුවේ තැන්පත්කරුවන්ගේ තැන්පතු වලින් 85% ක මුදලක් ගෙවා අවසන් කිරීමට අවකාශ සැලසීම සතුටට කරුණක් බව පවසන අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා එය ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව මෙන්ම මෙරට සමස්ත බැංකු ක්ෂේත්‍රය සහ ගනුදෙනුකරුවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කර සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();