හිටපු ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා මෙන්ම සමස්ථ වැඩකරන ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නඟමින් මෙරට ප්‍රථම කම්කරු දිනය හා මැයි පෙළපාලිය ආරම්භ කළ ඒ ඊ ගුණසිංහයන් වැනි ශ්‍රේෂ්ඨ චරිත ආදර්ශයට ගන්නේ නම් කවර දේශපාලකයකුට වුවද පැහැදිලි හා නිවැරදි දේශපාලනයක නිරතවිය හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
වර්තමානයේදි දේශපාලන ක්ෂේත්රය ගත්කළ බොහෝ පිරිසකට මඩ, අවලාද, චෝදනා එල්ල වන බවත් එවැනි දේශපාලන චරිත ආදර්ශයට ගැනීමට කටයුතු කළයුතු බවත් ඇමැතිවරයා පැවැසීය.
ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කෙළේ කම්කරු නායක ඒ ඊ ගුණසිංහ මහතාගේ 127 වන ජන්ම දිනය හා මැයි දිනය සැමරිම වෙනුවෙන් සංවිධානය ඒ ඊ ගුණසිංහ පිළිරුව අභියසදී පැවැති උත්සවයට සහභාගී වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේද පැවසීය.
මෙරට පහළ වූ විශිෂ්ඨ ජන නායකයකු, කෘතහස්ත දේශපාලකයකු, ඇමැතිවරයකු, සටන් කාමියකු, මෙන්ම වැඩකරන පන්තිය වෙනුවෙන් නිරතුරුව හඬ නැඟු කම්කරු නායකයකු වූ ඒ ඊ ගුණසිංහ මහතාගේ 127 වැනි ගුණ සමරුව අදට යෙදී තිබෙනවා. එතුමාගේ 127 වැනි ගුණ සමරුව වෙනුවෙන් සහභාගී වීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙසයි මම සළකන්නේ.
ලෝක කම්කරු දිනය යෙදෙන මැයි පළමුවැනිදා කිව්වම අපට සිහිපත් වන නායකයින් දෙදෙනෙක් සිටිනවා. කම්කරු ජනතාව වෙනුවෙන් හඩ නැඟු ඒ ඊ ගුණසිංහ මහතා එක් අයෙක්. වැඩකරන ජනතාව වෙනුවෙන් මැයි සැමරුම් දිනය මුලින්ම සංවිධානය කෙළේ ඒ ඊ ගුණසිංහ මැතිතුමායි.ඒ නිසා අපට කිසිසේත් අමතක කරන්නට බැහැ.ඒ වගේම වැඩකරන ජනතාව වෙනුවෙන් දැවැන්ත හඬක් නැඟු තවත් වැදගත් , අමතක නොවන උතුම් මිනිසෙක් ලෙස, මැයි දිනයේදීම ජනතාව අතරදී ඝාතනයට ලක්වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාත් අපට අමතක කරන්නට බැහැ.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් පොඩි මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී රජ ගෙදරට ගියත් එතුමා කිසිම අවස්ථාවක පොඩි මිනිසුන් අමතක කෙළේ නැහැ. එතුමා සෑම සෑම මොහොතකම පොඩි මිනිසුන් අතර ජීවත්වුණා.
අද දිනයේදි කැබිනට් සංශෝධනයක් සිදුවන හෙයින් පෙරවරු 9.30 ට ජනාධිපති මන්දිරයට එන්න කියා දැනුම් දීමක් කළා. එම අවස්ථාවට යන තෙක්ම කාටවත් දෙන අමාත්‍යාංශ පිළිබඳව අපි දැන සිටියේ නැහැ. එම අවස්ථාවට යන තෙක්ම මමත් සිතුවේ මගේ අමාත්‍යාංශයත් වෙනස් නොවී ඒ අයුරින්ම තිබේවා කියායි.මා සිතු අයුරින්ම මගේ අමාත්යාාංශයෙහි කිසිම වෙනසක් සිදුඋනේ නැහැ.එම කැබිනට් දිව්රුම් දීමෙන් පසුව මම අද සහභාගි වන ප්‍රථම උත්සවය ඒ ඊ ගුණසිංහ මහතාගේ මෙම උත්සවයයි.මෙරට ජනතාවගෙන් දශලක්ෂයක් වූ පිරිසකට ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රියාවලිය මා වෙත නැවත හිමිවීම සම්බන්ධයෙන් මම අතිශයින්ම සතුටු වෙනවා.ඒ වගේම ඩී එස් සේනානායක, ඒ ඊ ගුණසිංහ වැනි නායකයින්ද ඉඩම් ඇමතිවරුන් ලෙස මේ රටට සේවය කර තිබෙනවා.ඇඟ බද්ද නිදහස් කර ගැනීම වෙනුවෙන්ද විශාල සටනක් කළ ගුණසිංහ මහතා සිරගත වීමටත් සිදුඋනා. එමෙන්ම ඒ ඊ ගුණසිංහ මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කර තිබෙනවා. වත්මන් යහ පාලන රජයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා.
කම්කරු ජනතාවගේ අයිතින් මෙන්ම කම්කරු දිනය අභිමානයෙන් සැමරිම සඳහා මැයි දිනය සැමරුම් දිනයක් බවට පත්කර ගැනිමට කටයුතු කළේත් ඒ ඊ ගුණසිංහ මහතායි.එමෙන්ම මෙරට පිරිමින්ට පමණක් නොව කාන්තාවන් වෙනුවෙන්ද ඡන්ද අයිතිය ලබාදීම සදහා ගුණසිංහ මහතා සුවිශේෂි මෙහෙවරක් ඉටුකළා. එමෙන්ම කොළඹ මහනගර සභාව වෙත පත්වූ පළමු සිංහල , බෞද්ධ නගරාධිපතිවරයා වන්නේත් ඒ ඊ ගුණසිංහ මහතායි. එයත් සුවිශේෂි සිදුවීමක්. එමෙන්ම මේ මොහොතේදිත් කොළඹ මහනගර සභාව තුළ තවත් සුවිශේෂි වෙනස් කමක් සිදුව තිබෙනවා.
එනම් කොළඹ මහනගර සභාව වෙත ප්‍රථම පුරපතිනිය පත්කර ගැනීමට අපට හැකිඋනා. එයත් සුවිශේෂි සිදුවීමක් ලෙසයි අපි සළකන්නේ.ඒ වගේම ගුණසිංහ මහතා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා.ඒ ඊ ගුණසිංහ මහතා කම්කරු නායකයෙක් ලෙස මේ රටට , සමස්ථ කම්කරු ජනතාව වෙනුවෙන් ඉටුකළ සේවාව අති විශාලයි.එතුමා වෙනුවෙන් මේ පිළිරුව ඉදිකිරිම සගඳහා මැදිහත් උනේ දිවංගත ජනාධිපතිවරයකු වූ ජේ ආර් ජයවර්ධන මහතායි.ඒ ඊ ගුණසිංහ මහතාට උපහාර දක්වමින් එතුමා දිගු කාලීනව සිහිපත් කරමින් එතුමාට උපහාර සිදුකිරිම තමන්ගේ කටයුත්තක් සේ සළකමින් රණසිංහ ප්‍රේමදාස මහතා එය ඉටුකළා.
පොඩි මිනිසුන් වෙනුවෙන් සෑම අවස්ථාවකම සේවය කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ලබන්නට තරම් මමත් භාග්‍යවන්ත වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයා සහභාගී වූ උත්සව අවස්ථාවක පිළිගැනීම සිදුකිරීමට මට වරක් අවස්ථාව ලැබුණා. එම අවස්ථාවේදී මගේ කතාවට සාවධානව සවන් දුන් ජනාධිපති ප්‍රේමදාස මහතා පසුව මට කතා කළා. මට දිගු ගමනක් ඇති බව සඳහන් කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එතුමාටග් රජයේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස මා පත්කළා. එතුමාගේ රජයේ ආයතනයක කටයුතු කළ ලාබාලම සභාපතිවරයා මමයි.රණසිංහ ප්‍රේමදාස වැනි කෘතහස්ත මෙන්ම පරිණත දේශපාලන නායකයින්ගේ ආභාෂය, ආදර්ශය ලබන්නට තරම් අපි භාග්‍යවන්ත වුණා. ඒ නිසා මෙවැනි ආදර්ශමත් චරිත අපට කිසිම අවස්ථාවක අමතක කරන්නට බැහැ.හිටපු ජනාධිපති, රණසිංහ ප්‍රේමදාස, ඒ ඊ ගුණසිංහ වැනි චරිත ආදර්ශයට ගතහොත් කවරෙකුට වුවද දේශපාලනයේ ඉදිරි ගමනක් යන්නට පුළුවන්.විශේෂයෙන්ම අදවන විට දේශපාලනයේ නිරත වන බහුතරයකට විවිධ චෝදනා එල්ල වෙනවා. නමුත් රණසිංහ ප්‍රේමදාසයන්, ඒ ඊ ගුණසිංහ වැනි දේශපාලන නායකයින්ගේ ආදර්ශය ලබාගත හොත් චෝදනා , මඩ, අවලාද වලින් තොර පිරිසිදු දේශපාලන ගමනක නිරත වන්නට පුළුවන්.
විජිත කඳිරගොන්න මහතා
මෙරට වාසය කරන සමස්ථ ජනතාවට සර්වජන ඡන්ද අයිතිය ලබාදීම වෙනුවෙන් ඒ ඊ ගුණසිංහ මහතා සුවිශේෂි මෙහෙවරක් ඉටුකළා. කම්කරුවන් වෙනුවෙන් සුවිශේෂි හඬක් නැඟු නායකයෙක් ලෙස එතුමා සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ඇඟ බද්ද වෙනුවෙන් එතුමා සුවිශේෂි සටනක් කළා.කොළඹ මහ නගර සභාව වෙත පත්වූ පළමු සිංහල බෞද්ධ නගරාධිපතිවරයා වන්නේත් එතුමායි.
මෙහිදී ඒ ඊ ගුණසිංහ මහතාගේ පිළිරුවට ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා ගුණසිංහ මහතාගේ පවුලේ උදවිය විසින් පුෂ්පෝපහාර දැක්වූ අතර කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම් ටී එම් ඉක්බාල් මහතා හා විජිත කඳිරගොන්න මහතා විසින් පිළිරුව වෙත මල්මාල පැළඳවීමද සිදුවිය.
මෙම අවස්ථාවට ඒ ඊ ගුණසිංහ මහතාගේ පවුලේ උදවිය, දේශපාලකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
0 Comments