වරදේ ස්වභාවය සැලකිල්ලට ගනිමින් නඩු පැවරීමක් සිදුනොවී හෝ ඇප ලබා ගැනීමට නොහැකිව වසර තුනකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතවී සිටින රැඳවියන් සම්බන්ධව දත්ත ලබාගෙන ඔවුන්ට පිළිසරණයක් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජාතික නීති සතිය නිමිති කරගෙන කටයුතු කරන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවැසීය.
බන්ධනාගාර වෙත ගොස් අදාළ දත්ත ලබාගැනීමට නීතිඥවරු කණ්ඩායමක් පත්කරන බව පැවසූ ඒ මහතා එහිදී රැඳවියන්ගේ බී වාර්තා සැලකිල්ලට ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙහිදී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පොලිසිය වෙනුවෙන් සහාය කරගෙන අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඉන්පසුව අදාළ රැඳවියන්ගේ ඥාතීන් සම්බන්ධ කර ගන්නා බව පැවසූ ජනාධිපති නීතිඥ සිල්වා මහතා රැඳවියන් සම්බන්ධව ලබාගත් දත්ත නීතිපතිවරයා වෙත යොමු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ චේතිය ගුණසේකර මහතා මාර්ගයෙන් සිදුකර නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකර එම රැඳවියන්ට පිළිසරණ වන බවත් අවධාරණය කළේය.
ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා මේ බව පැවැසුවේ ඊයේ (01) කොළඹ 12, පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේදී නීති සතිය නිමිති කරගෙන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
ජාතික නීති සතිය පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ සංගමයේ උප සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්වරු මෙසේ පැවසූහ. ජාතික නීති සතිය මෙම 21 සිට 27 දක්වා රට පුරා පැවැත්වෙයි. “නීති ගරුක සමාජයක් උදෙසා නීතිඥ ප්‍රජාව” මෙවර ජාතික නීති සතියේ තේමාවයි ප්‍රධාන උත්සවය 27 දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා පරිශ්‍රය තුළදී පැවැත්වෙයි.
අගවිනිසුරු, නීතිපති, විනිසුරුවන් වැනි ඇමැතිවරු ඇතුළු නීතිඥවරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රධාන උත්සවය පැවැත්වෙයි.
මෙවර විශේෂත්වය වන්නේ කොළඹ නීති වැඩමුළු ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභා පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමයි. කොළඹ, මාතලේ, යාපනය, මාතර, ගාල්ල, අනුරාධපුර, කුරුණෑගල, මඩකලපුව, ගම්පහ, වව්නියාව පිහිටි මධ්‍යස්ථාන දහයකදී නීති ආධාර සායන 26 සහ 27 දා උදේ නවයේ සිට පැවැත්වෙයි. දිස්ත්‍රික්කයන්හි අධිකරණ ශාලා පරිශ්‍රයන් කේන්ද්‍ර කරගනිමින් නීති ආධාර සායන සහ ප්‍රදර්ශනද පැවැත්වෙයි.
0 Comments