ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් පළාත් ‘සුපිරි හතර’ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියට අදාළව අද (17) පැවැත්වෙන තරග කොළඹ කණ්ඩායමට සහ දඹුල්ල කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තීරණාත්මක තරග බවට පත්වී තිබේ.
අද කොළඹ පිල ගාල්ල කණ්ඩායමට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරග වදින අතර දඹුල්ල කණ්ඩායම මහනුවර කණ්ඩායම සමගින් පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.
මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 2 මේ මස 20 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දිවා/රාත්‍රි අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.
උපුල් තරංගගේ නායකත්වයෙන් තරග වදින ගාල්ල කණ්ඩායම සහභාගිවූ තරග පහෙන් 4ක් ජයගනිමින් මේ වනවිටත් අවසන් තරගයේ සිය ස්ථානය වෙන්කරගෙන තිබෙන්නේ ප්‍රසාද ලකුණු 17ක් සමගිනි.
තිසර පෙරේරා මෙහෙයවන කොළඹ කණ්ඩායම තරග 3ක් ජයගෙන ප්‍රසාද ලකුණු 13ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරණ දඹුල්ල පිල තරග 2ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 10ක් ලබාසිටී.
ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබාදුන් මහනුවර කණ්ඩායමට තරග 5කින් ජය ලබාගත හැකිවූයේ එක් තරගයක් පමණි.
අද පැවැත්වෙන තරගයේදී ගාල්ල පිලට එරෙහිව කොළඹ පිල ජය වාර්තා කළහොත් ඔවුන්ට පහසුවෙන්ම අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව උදාවෙයි.
එබැවින් කොළඹ පිල තරගය ජයගතහොත් දඹුල්ල කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තු බිඳ වැටෙයි. එහෙත් ගාල්ල හමුවේ කොළඹ පිල පරාජයවී දඹුල්ල පිල මහනුවර පිලට එරෙහිව ජයගතහොත් ඔවුන්ට අවසන් තරගයට එක්වීමේ අවස්ථාව උදාවනු ඇත.
මින් පෙර කොළඹ පිලට ගාල්ල කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 147ක පරාජයක් හිමිවූ අතර මහනුවර කණ්ඩායම සමග පැවැති තරගයෙන් දඹුල්ල කණ්ඩායම කඩුලු 5ක ජයක් අත්කරගෙන තිබේ.
මේ තරගාවලියේ ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට කොළඹ කණ්ඩායම නියෝජනය කරන ෂෙහාන් ජයසූරිය සමත්ව සිටී.
ඔහු තරග 5කදී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 275ක් රැස්කරගෙන තිබේ. ජයසූරිය සමගින් ලකුණුලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවන ළහිරු තිරිමාන්නද කොළඹ පිල නියෝජනය කරයි. තරග 4කට සහභාගිවී ඇති තිරිමාන්න ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 270කි.
ලකුණුලාභීන් අතර දෙවැනි ස්ථානය උපුල් තරංගට (272) හිමිව ඇති අතර සිවුවැනි ස්ථානය දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්ට හිමිව තිබේ. ඔහු තරග 4කදී රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 206කි. ඊට ශතකයක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වෙයි.
ගාල්ල කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර සහ දසුන් ශානක පන්දු යවන්නන් අතර මුල් ස්ථාන දෙක අත්කරගෙන සිටිති. පුෂ්පකුමාර තරග 4කදී කඩුලු 12ක් බිඳ හෙලා ඇති අතර ශානක තරග 4කදී කඩුලු 9ක් දවාගෙන තිබේ.
සචිත් පතිරණ (මහනුවර) සහ ඉසුරු උදාන (මහනුවර) ද කඩුලු 9ක් බැගින් දවා ගැනීමට සමත්ව සිටිති. කොළඹ කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් (8) පස්වැනි ස්ථානයේත්, දඹුල්ල කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු (6) හයවැනි ස්ථානයේත් පසුවෙයි.


0 Comments