Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පක්ෂයට පෙර රට ගැන සිතා කටයුතු කරන්න

Author(s): 
අනුර ප්‍රේමලාල්

තම දේශපාලන පක්ෂයට පෙර රට ගැන සිතා කටයුතු කිරීමට සියලු දෙනා හුරු පුරුදු විය යුතු බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් (17දා) ගලධාරි හෝටලයේ පැවැති ග්‍රාමීය පාලම් පන්සීයේ ව්‍යාපෘතිය වෙනුවෙන් විදේශ රටවල් අතර හා සමාගම් අතර ගිවිසුම් අත්සන් කිරීම, නව පළාත් පාලන සභිකයින්ට පුහුණු අත්පොත එළිදැක්වීම හා දේශීය ණය සංවර්ධන අරමුදලේ සියවෙනි සංවත්සරයේදි කාර්යන් එළිදැක්විම යන කාර්යන් සිදුවන අවස්ථාවට එක්වෙමින්ය.

එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය. ග්‍රාමීය පාලම් පන්සීයයක ව්‍යාපෘතිය තුළින් ජනතාවට විශාල ප්‍රතිලාභයක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ගමක් නගරයට සම්බන්ධ කිරීම හා ගම් දෙකක් සම්බන්ධ කිරීම තුළින් ජනතාව අතර සම්බන්ධතාව මාර්ග පහසුකම් ඇතුළු විශාල සංවර්ධනයක් සිදුවෙනවා. ළඟදි කෑගල්ලේ යන විට මට දකින්න හැකිවු දෙයක් තමයි ගමකින් තවත් ගමකට ගමන් කරන්න කිලෝමීටර් හතක් යන්න ඕනේ. හැබැයි මේ ග්‍රාමීය පාලම තුළින් එම දුර ප්‍රමාණය අඩුකරන්න අපිට හැකිවෙනවා. ඒ වගේම නාගරිකකරණය වන අවස්ථාවකදි අපට යුතුකමක් තියෙනවා ග්‍රාමීය ජනතාවගේ සුබසාධනය දියත් කරන්න.

එහෙමනම් අපි පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට පුහුණුවක් නිර්මාණය කළ අත්පොතක් අපි ලබාදුන්නා. ඉන් බලාපොරොත්තුවන්නේ නාගරික මන්ත්‍රීවරයකුට පුහුණුවක් ලබාදීමයි. එය අපේ අමාත්‍යාංශයට තිබෙන යුතුකමක් හා වගකීමක් වෙනවා. පළාත් පාලන ආයතන තියෙනවා මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙලා තියෙනවා. හැබැයි ඇතැම් ආයතන දූෂණ වංචා නිසා මධ්‍යම රජයෙන් යැපෙන්න සිදුවෙලා තියෙනවා.

ඒ ඒ පළාත් පාලන ආයතනවල පාලන තන්ත්‍රය මීට වඩා ශක්තිමත් වේ යැයි මම විශ්වාස කරනවා. අපි දේශීය ණය අරමුදලින් රුපියල් මිලියන ගණනින් ණය දීලා තියෙනවා. සමහර පළාත් පාලන ආයතන බලාගෙන ඉන්නේ ආණ්ඩුවෙන් පුළුවන් තරම් යැපෙන්න. හැබැයි ලෝකයේ තියෙන ප්‍රවණතාවය වන්නේ පළාත් පාලන ආයතන මූල්‍ය කළමනාකරණය කොට දිනෙන් ස්වාධීන ආයතන බවට පත්වෙනවා.

ඇතැම් පළාත් පාලන ආයතන හා පළාත් සභාද ස්වාධීනත්වය ලබාදෙන්න කියන අතර අනෙක් පැත්තට ඇවිත් මූල්‍ය ආධාර බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තුවන්නේ පළාත් පාලන ආයතන කොම්පැණියක් වගේ වාණිජලෙස හිතන්න කටයුතු කරන්න පුරුදු කරන්නයි. බොහෝ පළාත් පාලන ආයතන සතුව වටිනා ඉඩම් තියෙනවා. ඒවයේ කඩකාමර, නිවාස ඉදිකර ආදායම් සොයන ක්‍රමවේද තියෙනවා. නමුත් සෑමදාම මහා ආණ්ඩුවෙන් ආධාර අරගෙන කටයුතු කරන්න ඇතැම් පළාත් පාලන හැමදාම බලාපොරොත්තු වන්නේ.

දේශීය ණය අරමුදල බැංකුවක් ලෙස ශක්තිමත් අයුරින් පවත්වාගෙන යන්න අවශ්‍ය අණපනත් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපි මහා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා දේශීය ණය අරමුදල ශක්තිමත් කරනවානම් වැඩියෙන් ටිකක් ණය දී පළාත් පාලන ආයතන ශක්තිමත් කොට එම ආයතන ස්වාධීන තත්ත්වයට ගෙන එන්න හැකියාව තියෙනවා. මේ වැඩ සටහන් තුන අද අපි ක්‍රියාත්මක කළා මෙය ජනතා හිතකාමි අමත්‍යාංශය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

කලින් අපේ අමත්‍යාංශය ගැන කියන විට සිහිපත් වන්නේ පළාත් පාලන හෝ පළාත් සභා ඡන්දයයි. නමුත් අද ඊට වඩා කටයුතු කෙරෙන බව කාටත් පැහැදිලියි. අපේ අමාත්‍යාංශයේ නිලධාරි පිරිස දක්ෂම පිරිස ලෙස මම දකිනවා. පළාත් පාලන මැතිවරණ සමයේ මගේ අමත්‍යාංශයේ නිලධාරින් විඳපු පීඩනය මෙරට කිසිම අමත්‍යාංශයක් වින්දේ නැහැ. අපිට ඊට මුහුණ දෙන්න හැකිවූයේ අපි නිතරම හරි දේ කළ නිසයි. අපි කොළේ වහලා ගැහැව්වේ නැහැ. ඇත්ත කතා කළා ජනතාවට සුබදායි දෙයක් සිදුකළා.

පළාත් පාලන මැතිවරණයෙන් පසු 25%ක කාන්තා නියෝජනය තියෙනවා. අපේක්ෂකයින් අඩුම වියදමක් වැය කළ මැතිවරණය ලෙස හැඳින්වෙනවා. එමෙන්ම පොලිස් වාර්තාවලට අනුව ප්‍රචණ්ඩ ක්‍රියා අඩු සාමකාමිම ඡන්දය මෙයයි කියලා. ඒ නිසා මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කියන අයට කියන්න කැමතියි තමුන්නාන්සේලාගේ දේශපාලන පක්ෂයට ලැබෙන පංගුව ගැන හිතන්න එපා.

සුළු පක්ෂ නියෝජනයක් ඇති කරන්න සමානුපාතික ක්‍රමයත් ඇති කළා. අපි සිදුකළ සෑම දෙයක්ම කළේ ජනතා සුබසාධනය වෙනුවෙන්. දේශපාලන පක්ෂ ගැන සිතලා නොවේ. මම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලා පක්ෂය ගැන හිතන්න එපා රට ගැන හිතන්න. මම දැක්කා ළඟදි එක දේශපාලඥයෙක් සමාව ඉල්ලනවා මේ ක්‍රමයට ඡන්දය තියපු එක ගැන. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමක් ලබාගෙන ඒ ජනවරමෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා පොරොන්දුවක් දුන්නා. අපි ගමට වග කියන මන්ත්‍රීවරයෙක් බිහිකරනවා කියලා. දූෂිත මනාප ක්‍රමයෙන් ඈත්වෙනවා කියලා. මේ ක්‍රමය වෙනස් කරලා දූෂිත ක්‍රමයට ගියා නම් 2015 ජනවාරියේ ලබපු ජනවරමට කරන ලොකුම ද්‍රෝහිකම කියලා මම හිතනවා. මේ ක්‍රමය වෙනස් කරන්න හදන උදවියට ජනතාව පාඩමක් උගන්වයි කියලා.

අමත්‍යාංශ ලේකම් එච්.ටි. කමල් පද්මසිරි මහතා -මේ අවස්ථාවට නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිනි හා එක්සත් රාජධානි තානාපති නියෝජනය කරමින් එහි වෙළෙඳ ප්‍රධානියා මේ අවස්ථාවට එක්වි සිටින අතර ඉදිකිරීම් කරන එම රටවල සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරින් පැමිණ තියෙනවා. ග්‍රාමීය පාලම් පන්සීයක් ඉදිකිරීමේ මේ ව්‍යාපෘතියට මහාමාර්ග අමාත්‍යාංශයෙන් ඉතා විශාල සහයෝගයක් ලැබි තියෙනවා.

එම නිසා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්, පළාත් ලේකම්වරු, ඉංජිනේරුවන් එක්වි සිටිනවා. වර්තමාන රජය මේ වැඩ සටහන ආරම්භ කළේ ඉදිරි වසර දෙක තුළදි ග්‍රාමීය ප්‍රදේශවල පවත්නා ප්‍රවාහන විසඳුමක් ලබාදීම සඳහායි. ඇමැතිතුමා අග්‍රාමත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කරලා මේ පිළිබඳ අමත්‍ය මණ්ඬල පත්‍රිකාව ඉදිරිපත් කරලා මාස දෙකයි වෙන්නේ. මුදල් අමත්‍යාංශයේ සහයෝගයත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය නිසා මේ ගිවිසුම ඉක්මනට අත්සන් කිරීමේ අවස්ථාව අපිට ලැබුණා. ඒ නිසා ඉදිරි වසර දෙක තුලදි මේ ව්‍යාපෘති අවසන් කර එහි ප්‍රතිඵල ජනතාවට පෙන්වන්න හැකිවෙනවා. ඒක තමයි අපේ අමත්‍යාංශයේ ප්‍රතිපත්තිය.

මෙහිදි පාලම් පන්සීය සඳහාවන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා නෙදර්ලන්තයේ හා එක්සත් රාජධානියේ අදාළ සමාගම් අතර සිදුවිය.

මේ අවස්ථාවට රාජ්‍ය ඇමැති ශ්‍රියාණි විජේවික්‍රම මහත්මියද එක්ව සිටියාය. මෙහිදි ග්‍රාමීය පාලම් පන්සීය ගැන එම ව්‍යාපෘති සම්බන්ධිකාරක ආචාර්ය මනෝමි පෙරේරා, පළාත් පාලන අත්පොත එළිදැක්වීම පිළිබඳ එම සම්පාදනය කළ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය අධ්‍යක්ෂ සූජීව සමරවීර, දේශීය ණය සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා යුගානි අමරසිංහ යන මහත්ම මහත්මීන් අදාළ විෂයන් පිළිබඳ පැහැදිලි කිරීමක් සිදුකළහ.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();