Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් මත්ද්‍රව්‍ය එන්නත්කර ගත්තා දැයි සැකයක්

Author(s): 
විජයානි එදිරිසිංහ

කොළඹ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩා සමාජයක ආරාධනාව මත පසුගිය 10 වැනි දින මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය රගර් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු හදිසියේ රෝගාතුර වී මිය යාමේ අබිරහස් සිද්ධිය මේ වනවිට මහත් ආන්දෝලනයකට පත්ව ඇත.

බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ රගර් ක්‍රීඩා සමාජයක දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනකු වූ හාවඩ් තෝමස් ඇන්ඩෲ (26) සහ බෙට් තෝමස් රීඩ් (27) නමැති තරුණ ක්‍රීඩකයන් දෙදෙනා මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ ක්‍රීඩකයෝ වෙති.

මෙරට පැවැති එම රගර් තරගාවලියට සහභාගිවීමට පෙර ඔවුන් එරට දී මෙන්ම මෙරටදී ද වෛද්‍ය පරීක්ෂණයකට ලක්කර තිබිණි. එහෙත් ඔවුන් දෙදෙනාගේ එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 22 දෙනා හෝ කළමනාකාරවරයා කිසිදු රෝගී තත්ත්වයකින් පෙළී සිට නොමැත.

මේ කණ්ඩායමේ කළමනාකාරවරයා සහ සෙසු ක්‍රීඩකයන් පිරිස මෙරටට පැමිණ නවාතැන් ගෙන තිබුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකය. කණ්ඩායම මෙසේ පසුගිය 10 වැනිදා පැමිණ 11 වැනිදා විවේක ගෙන 12 වැනි දින එම තරගාවලියට සහභාගි වූහ. මේ තරගය සුහද රගර් තරගයක් වී ඇත. එදින තරගය පැවැත්වීමෙන් පසු එදිනම රාත්‍රියේ රගර් ක්‍රීඩා සංකීර්ණයේ දී දෙරටේම රගර් ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. රාත්‍රි හත පමණ වනවිට සියලුම ක්‍රීඩකයන් සහ කළමනාකරුවන් ද සෙසු ආරාධිත අමුත්තන් ද එම ක්‍රීඩා සංකීර්ණයට පැමිණ රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගිවී විනෝදවී ඇත. එම භෝජන සංග්‍රහයේ දී ද ඔවුන්ගේ රාත්‍රි ‍භෝජන සංග්‍රහයට මත්පැන් ඇතුළත් වූවත් එහි තබා තිබී ඇත්තේ එක් සීමාසහිත මත්පැන් ප්‍රමාණයක් පමණි. කෙසේ වෙතත් සියලු දෙනාම ආහාරපාන ගෙන විනෝදවී රාත්‍රි 10.00 ට පමණ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

අනතුරුව මේ බ්‍රිතාන්‍ය රගර් කණ්ඩායම පිටත්ව ගියේ කොළඹ කොටුවේ පිහිටි ඔවුන් නවාතැන් ගත් හෝටලය වෙතය. එහි ගිය මේ පිරිස අතරින් දෙදෙනකු හැර සෙසු පිරිස කොල්ලුපිටියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක් වෙත ගොස් තිබේ. මේ රාත්‍රි සමාජ ශාලාව බොහෝ සංචාරකයන් ගැවසෙන යන එන ස්ථානයකි. කොළඹ, බම්බලපිටිය, ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ යටම මහලේ එම රාත්‍රි සමාජ ශාලාව පිහිටා ඇත. මේ රාත්‍රි සමාජ ශාලාවට ඇතුළු වූ මේ රගර් කණ්ඩායමේ සාමාජිකයෝ සමාජ ශාලාවේ ඇති බොහෝ දේ වෙත යොමුවී තිබිණි. මේ සමාජ ශාලාව සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යවලට බොහෝවිට ප්‍රසිද්ධ ස්ථානයකි. මෙරට සාමාන්‍ය ජනතාව අතර භාවිත වන මත්පැන්වලට අමතරව වෙනත් නවීන වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත වන බව ප්‍රසිද්ධ රහසකි. එසේම බොහෝ පිරිස් එහි යති. බොහෝවිට එහි රැ‍ඳෙන්නේ සුපිරි පන්තියේ පිරිස් සහ සංචාරකයන්ය. මේ රගර් කණ්ඩායමේ සාමාජිකයන් එහි ඇතුළු වූ අවස්ථාවේ සිට ඔවුන් විසින් කළ කී දෑ ආහාරයට ගත් දේවල් ඇතුළු සියලු දේ එම සමාජ ශාලාවේ සීසීටීවී කැමරා පද්ධතියේ සඳහන්ව තිබිය යුතුම වෙයි.

මේ බ්‍රිතාන්‍ය ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයන් ද එම සමාජ ශාලාවේ පැය ගණනාවක් ගත කර අලුයම් කාලයේ කණ්ඩායම් වශයෙන් ඉන් පිටවී ඔවුන් නවාතැන් ගෙන සිටි කොළඹ කොටුවේ පිහිටි හෝටලය වෙත පැමිණ තිබුණි. එසේ පැමිණි ඔවුන් නින්දට ගොස් සිටිය දී පෙරවරු 10.00ට පමණ ඇන්ඩෲ සහ රීඩ් දෙදෙනාම යම් රෝගී තත්ත්වයකින් පෙළෙන්නට විය. ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන තිබුණේ හෝටලයේ එකම කාමරයක නොවේ. එක් ක්‍රීඩකයකු මද වශයෙන් රෝගී තත්ත්වයට පත්ව ටික වේලාවක් ගතවෙද්දී අනෙක් ක්‍රීඩකයා ද රෝගී විය. මොවුන්ගේ රෝගී ලක්ෂණ වූයේ හුස්ම ගැනීමට අපහසුතාවකින් පෙළීමයි. නින්දේ සිට ඔවුන් එම අපහසුතාව මත අවදිවී ඒ සඳහා සුළු ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබුණ ද සුළු කාලයක් තුළ කෙසේවත් හුස්ම ගැනීමට නොහැකි තරම් බරපතළ තත්ත්වයකට පත්වෙමින් මේ දෙදෙනා දඟලන්නට වූහ. මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ රෝගීවීමත් සමඟ ඔවුන් වහාම එම හෝටලයේ කළමනාකාරීත්වයට දැන්වීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම හෝටලයේ කළමනාකරු විසින් ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළහ.

රෝහලේ වෛද්‍යවරු මේ රෝගී තත්ත්වය නිරීක්ෂණය කර විවිධ ප්‍රතිකාර කරමින් රෝග විනිශ්චය සඳහා පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය පියවර ද ගෙන තිබුණි. එහෙත් සිදුකළ ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් නොලද මේ ක්‍රීඩකයන් දෙදෙනා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීමට පියවරගෙන තිබුණි. එහෙත් රෝහලට ඇතුළත් කර පැය එකහමාරක පමණ කාලයක් තුළ ඇන්ඩෲ ඉතාමත් අවාසනාවන්ත ලෙස මිය ගියේය. රෝහලේ වෛද්‍යවරු අනෙක් ක්‍රීඩකයාගේ ජීවිතය රැක ගැනීමට බොහෝ ප්‍රතිකාර ලබාදෙමින් සිටිය දී ඇන්ඩෲ මිය ගොස් ‍දින දෙකකට පසු රීඩ් ක්‍රීඩකයා ද මිය ගියේ තවත් අභිරහස් තත්ත්වයක් ඇති කරවමිනි.

මේ අතර එම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් විසිදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට ද පියවර ගත්තේය.

මේ අතර පෙරේදා එනම් 14 වැනි දින ඇන්ඩෲ ක්‍රීඩකයාගේ මරණයට සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝ‍හලේ දී සිදු කෙරිණි. එහි දී මේ ක්‍රීඩකයාගේ අබිරහස් මරණයේ අබිරහස් තත්ත්වය තව දුරටත් වර්ධනය වෙමින් ඔවුන්ගේ මරණයට හේතුව අනාවරණය වූයේ නැත.

ඔහු බරපතළ ශ්වසන රෝගයකින් හෝ ශරීරයේ වෙනත් රෝගී තත්ත්වයකින් පෙළී නොමැති බව අනාවරණය විය. තව ද කිසිවකුගේ පහරදීමකට වසක් විසක් සහිත ආහාරයක් ද ශරීර ගතවී නොතිබුණ අතර, ඔහුගේ ශරීරය තුළ දක්නට තිබූ ප්‍රධානම ලක්ෂණය වූයේ ඔහු අධික ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවයි. මත්ද්‍රව්‍ය එන්නත් කරගෙන තිබේද යන සැකය ද තිබිණි. එම මත්ද්‍රව්‍ය ශරීරගතවී තිබූ කාලය සසඳන විට ඔහුගේ මරණය සිදුවීමට පැය කිහිපයකට පෙර එම මත්ද්‍රව්‍ය හා මත්පැන් ශරීරගතවී ඇති බව අනාවරණය විය. එනම් ඒ වනවිට ඔහු ගත කර තිබී ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි ඉහත සඳහන් රාත්‍රි සමාජ ශාලාවේය.

මත්ද්‍රව්‍ය අතර ප්‍රසිද්ධම මෙන්ම මිල වැඩි මත්ද්‍රව්‍යයක් වූ බ්‍රවුන් ෂුගර් (Brown Suger) නමැති මත්කුඩුවලට සමාන හඳුනා ගැනීමට පවා නොහැකි මත්කුඩු ඇන්ඩෲගේ ශරීරය තුළ තිබී හඳුනා ගැනීමට හැකිවී ඇත. එම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ කොළඹ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එම්. එන්. රුහුල්හක් මහතා විසින්ය. ශරීරයේ වෙනත් කිසිම කොටසක ආබාධයක් නොවූ අතර, මරණයට හේතුවද අනාවරණය නොවූ නිසා ඇන්ඩෲගේ ශරීරයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පියවර ගැනිණි. එබැවින් පශ්චාත් මරණ පරීක්ෂකවරයා විසින් මේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබිණි.

ඇන්ඩෲගේ මරණ පරීක්ෂණය සිදුකර අවසන් වූ පෙරේදා (15) පස්වරුවේ ‍පුද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තෝමස් රීඩ් මිය ගියේය. මේ මරණය සිදුවීමත් සමඟ එම රගර් කණ්ඩායම තව දුරටත් කලබලයට පත්වී ඔවුන් සියලු දෙනාම යළි වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට සැලසුම් කර තිබිණි. එම ක්‍රීඩකයන්ගේ ඥාතීන් ද මෙරටට පැමිණීමට පටන්ගත් අතර, මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඔවුන්ට අවශ්‍ය කටයුතු කරදීමට පියවර ගෙන තිබිණි.

තෝමස් රීඩ්ගේ මරණයත් සමඟම සහ ඇන්ඩෲගේ මරණ පරීක්ෂණයේ දී ඔවුන්ගේ සිරුරේ හඳුනා ගැනීමට අපහසු මත්ද්‍රව්‍ය ඇතුළු වී තිබීමත් සමඟ ඔහු මත්ද්‍රව්‍ය ලබාගෙන පානය කරන්නට ඇතැයි සැක කරන රාත්‍රි සමාජ ශාලාව වෙත ගොස් පොලිසිය පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කර එම සිද්ධියට සම්බන්ධ තොරතුරු රැස්කර ගත්තේය. එහි සිටි කළමනාකරුවන් ඇතුළු බොහෝ දෙනකුගෙන් ප්‍රශ්න කර රාත්‍රි සමාජ ශාලාවද පරීක්ෂාවට ලක් කළේය.

මේ සමාජ ශාලාවේ හිමිකාර ආයතනය වූයේ කොළඹ කොම්පැනියකි. මේ රාත්‍රි සමාජ ශාලාවේ කටයුතු පිළිබඳ පොලිසිය පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබේ.

පසුව මිය ගිය තෝමස් රීඩ්ගේ මරණයට අදාළ මරණ පරීක්ෂණය ද ඊයේ (16) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි. එම මරණ පරීක්ෂණයෙන් අනාවරණය වන කරුණු සහ රීඩ්ගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු එක සමාන වුවහොත් සිදුකරනු ලබන පරීක්ෂණවල තත්ත්වය තව දුරටත් වර්ධනයවී ඊට වගකිව යුතු පුද්ගලයන්ට හෝ ආයතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();