ශ්‍රී ජයවර්ධනපුර ඉදිකරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ නව ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ඊයේ (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත්කෙරිණි.
ශක්තිමත් විදුලිබල කළමනාකරණයක් තුළින් ජනතාවට කාර්යක්ෂම විදුලි සේවයක් ලබාදීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර භාවිතා කර රුපියල් බිලියන තුනක වියදමින් ජාතික විදුලිබල පද්ධති පාලන මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
ඇමැතිවරුන් ඇතුළු පිරිස ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව පීත්ත පටිය කැපු ජනාධිපතිවරයා සිය සුරතින් සමරු ඵලකයද නිරාවරණය කළේය. අනතුරුව පාලන මැදිරියේ නිරීක්ෂණ චාරිකාවකද ජනාධිපතිවරයා නිරත විය. ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලු විදුලි බලාගාර සහ විදුලි කොටුමා උප පොළවල දත්ත එම මොහොතේම පද්ධති පාලන මැදිරියේ සිට නිරීක්ෂණය කිරීමට පහසුකම් පවතී. එම දත්ත ප්‍රකාශ තන්තු හරහා එම ස්ථානවල සිට නව පද්ධති පාලන ගොඩනැගිල්ලට ළඟාවෙයි.
තවද අධි වෝල්ටීය සම්ප්‍රේෂණ පද්ධතිය විදුලි කොටුමාවල පවතින ට්‍රාන්ස්ෆෝමර්, ට්‍රාන්ස් සම්ප්‍රේෂණ රැහැන් මෙම පද්ධති පාලන මධ්‍යස්ථානයේ සිට විසන්ධි කිරීම හා නැවත පණගැන්වීමද කළ හැකිය. එම දුරස්ථ මෙහෙයුම් ක්‍රියාකාරකම් පළමුවරට පද්ධති පාලන මැදිරියේ සිට කිරීමට හැකිවන සේ පිහිටවනු ලැබුවේ මෙම ව්‍යාපෘතිය මඟිනි.
එසේම අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ ජාලය නවීන වීඩියෝ පවුරක නිර්මාණය කර ඇති අතර එමඟින් ස්වයංක්‍රීයව වෙනස් වන සම්ප්‍රේෂණ රැහැන්වල තත්ත්වය සහ දැනට සම්ප්‍රේෂණ රැහැන්වල ගලා යන ධාරාව වැනි දේද පද්ධති පාලන ඉංජිනේරුවරයාට ක්ෂණිකව පැහැදිලිව නිරීක්ෂණය කරගත හැක. එවැනි පහසුකම් නිසා සම්ප්‍රේෂණ පද්ධතියේ බිඳවැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමේ හැකියාව පවතී. මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩල සභාපති ඩබ්ලිව්. බී. ගනේපොල, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ. කේ. සමරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ එක්වූහ.


0 Comments