රටේ අනන්‍යතාවය, අපේකම, සංස්කෘතිය මෙන්ම මානව ගුණධර්ම ද ආරක්ෂා කිරීමේ විශාල වගකීමක් උසුලන කලාකරුවන් හා කලාව ආරක්ෂා කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.
ශ්‍රී ලාංකේය කලාව වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය කැප කර අද වන විට ජීවිතයේ සැදෑසමය ගත කරන කලාකරුවන් අගයමින් ඔවුන් වෙනුවෙන් මාසික විශ්‍රාමික දීමනාවක් ලබා දීම සඳහා පැවැති උත්සවයේ දී ඇමැතිවරයා මේ බව පැවසීය.
ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එහිදී කලාකරුවන් 163 දෙනකු වෙනුවෙන් මෙම විශ්‍රාමික දීමනා හිමිකම් පත් ප්‍රදානය කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ පැවසුවේය.
ජාතික චිත්‍රපට සංස්ථාව පාලනය කිරීමේ සංකල්පයෙන් ඔබ්බට ගොස් සිනමා කලාව සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව මා කටයුතු කරනවා.
විවිධ ආණ්ඩු කලින් කලට අඩු වැඩි කරමින් ගෙන ගිය මෙම ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩුව යටතේ ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා.
රටේ කලාව ආරක්ෂා නොකළහොත් අප අක්මුල් සිඳී ගිය ඉබාගාතේ යන පිරිසක් බවට පත් වෙනවා.චිත්‍රපට ක්ෂේත්‍රය වෙනුවෙන් ස්වක්‍රීය ශ්‍රමය කැප කර අද ජීවිතයේ සැදෑසමය ගත කරන, පිළිසරණක් නොලබන කලාකරුවන්ට මෙවැනි සහනයක් ලබා දීමට හැකිවීම ඉතාම වැදගත් හා කාලෝචිත ක්‍රියාවක් ලෙස මා දකිනවා. මේ සඳහා ජනාධිපතිතුමා විශාල උනන්දුවක් දැක්වුවා. එමෙන්ම රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමා චිත්‍රපට සංස්ථාවේ පැවැති අර්බුද විසඳන්න පසුගිය මාස කිහිපයක සිට උත්සාහයක් දැරුවා.
දේශීය චිත්‍රපට ආරක්ෂා කිරීමට චිත්‍රපට සංස්ථාව 1972 දී සිරිමාවෝ මැතිනිය ආරම්භ කළා. විවිධ තර්ජන, ගර්ජන මධ්‍යයේ මේ දක්වා මේ කාර්යය ඉටු කරමින් සංස්ථාව පවත්වා ගෙන යනවා. මේ මාසික දීමනාව ජේ.ආර්. ජයවර්ධන මහතා රුපියල් 500 කින් ආරම්භ කරන ලද්දක්. පසුව එම මුදල රුපියල් 2000ක් දක්වා වැඩි කරනු ලැබුවා. එතැන් සිට පසුගිය අවුරුදු 20ක් කලාකරුවන් වෙනුවෙන් මෙම දීමනාව වැඩි කිරීමක් හෝ අලුත් අයට ලබා දීමක් සිදු වුණේ නැහැ. ඒ අනුව අපි අද පොරොත්තු ලේඛනයේ සිටින පිරිසක් ඇතුළුව 163 දෙනකුට මේ දීමනාව රුපියල් 5000 ක් දක්වා වැඩි කර ලබා දෙන්නට පියවර ගත්තා.
චිත්‍රපට සංස්ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් වු ඩී.බී.නිහාල්සිංහ මහතා 72 සිට 77 දක්වා කාලය තුළ සංස්ථාව කාර්යක්ෂමව පාලනය කළා. ඔහුගේ ප්‍රතිමාවක් මීට බොහෝ කලකට පෙර මේ සංස්ථා භූමියේ විවෘත කළ යුතු වුවත් එය අද හෝ ඉටු කිරීමට ලැබීම සතුටක්. ප්‍රවීන සිනමා අධ්‍යක්ෂ තිස්ස අබේසේකර මහතා සභාපති ධූරය දරන කාලයේ දී වසර 5 ක් මමත් සංස්ථාවේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළා. මේ නිසා මටත් අත්දැකීම් රැසක් තිබෙනවා. මේ ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන ගැටලු විසඳීමට අලුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මම අදහස් කරනවා. මේ ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ නිර්දේශ ජනාධිපති උපදෙස් මත ක්‍රියාත්මක කිරීම මගේ යුතුකමක් වෙනවා.
ජාතියක පෙර ගමන්කරුවන් වන්නේ කලාකරුවන් බවට අපරදිග කියමනක් තිබෙනවා. රටට සිදු වන විපත් ගැන අනුමාන කිරීමේ හැකියාවක් කලාකරුවන්ට තිබෙනවා. රටක නිල නොලත් ව්‍යවස්ථාදාක සභාවක් ලෙස කලාකරුවන් හඳුන්වන්නට පුළුවන්. මහා ගත්කරු ශේක්ෂ්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා තුළින් මතු කරන ලද සමාජ යථාර්ථයෙන් ලොවට ලැබුණු ආදර්ශය ඉතා වැදගත් වෙනවා. රටේ පාලකයින් නොදකින පැත්තක් කලාකරුවන් දකිනවා. රටේ පැවැති අමානුෂික නීතිය ගැන කදිම පාඩමක් ශේක්ෂ්පියර් පාලකයින්ට ලබා දුන්නා. ඒ අනුව රටේ නීති පොතට අලුත් සාපරාධි නීතියක් එක් කරන්නට හැකියාව ශේක්ෂ්පියර්ට ලැබුණා. අපේ රටටත් ඒ නීතිය වලංගුයි. මේ නිසා රටක් යා යුතු මඟ පෙන්වන කලාකරුවන් රටේ මහඟු සම්පතක් වෙනවා.
චිත්‍රපට සංස්ථාව කාර්යභාරයෙන් ප්‍රතිවිරුද්ධ ගමනක් ගියා. විවෘත ආර්ථිකය තුළ චිත්‍රපට සංස්ථාව ප්‍රතිපත්තිමය වෙනසක් අපට කරන්නට සිදු වෙනවා. මේ කලාකරුවන් ඉන්දියාවේ උන්නා නම් අද මේ අය කෝටිපතියෝ වෙලා. කුඩා ප්‍රේක්ෂකාගාරයක් තුළ කලා ක්ෂේත්‍රය විවිධ පසුගාමී තත්ත්වයක් අපේ රටේ තිබෙනවා. විශේෂයෙන් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි වන තරුණ පරම්පරාවට වින්දනය සම්බන්ධයෙන් දියුණු මානසිකත්වයක් නැහැ. අපේ රටේ කලාව පෝෂණය වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වලෙන්. අද වායු සමීකරන රංගන ශාලා තිබුණත් එදා වලේ පෙන්නු නාට්‍ය අදට වඩා ගොඩක් දියුණුයි. මෙය භෞතික සම්පත් මත ලැබු දියුණුවක් නොවේ. කලාව වින්දනය කරන්නට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද වෙනසක් විය යුතු බව මගේ හැඟීමයි.
මේ කලාකරුවන්ට අද ලැබෙන මුදල ප්‍රමාණවත් යැයි අපි හිතන්නේ නැහැ. ඒ මුදල් වැඩි කිරීම සම්බන්ධව අනාගතයේ දී තවත් තීන්දු තීරණ ගැනීමට අපට හැකියාව තිබෙනවා යැයි කීවේය.
රාජ්‍ය කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා-
සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය, ධනය, කාලය කැප කළ සිනමා ප්‍රවීනයන්ට යම් ශක්තියක් ලබා දීමට හැකිවීම ගැන ඉතාමත් සතුටක් දැනෙනවා. චිත්‍රපට සංස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට බාර දුන් අවස්ථාවේ විශ්‍රාමික කලාකරුවන්ට රුපියල් 5000 ක දීමනාවක් දීම සඳහා මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මේ දීමනාව ලැබුණේ 53 දෙනකුට පමණයි. තවත් 111 දෙනකු ලයිස්තුවේ සිටියා. අපේ ප්‍රයත්නය වුණේ මේ සියලු දෙනාට ම මාසික දීමනාවක් ලෙස මෙම 5000 මුදල ලබා දීමයි. මේ ගැන මෙපමණ කාලයක් අවධානය යොමු කර තිබුණේ නැහැ. අපි නවීන ලෝකයට, දියුණු තාක්ෂණයට අනුගත නොවීම නිසා අද පසුබෑමකට ලක් ව සිටිනවා. සිනමා ක්ෂේත්‍රය නවීන තාක්ෂණය සමඟ සමාජය සමඟ එක් ව ගමන් කළ යුතුයි. ජනාධිපතිතුමා මේ ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය සඳහා නිර්දේශ සකස් කිරීමට විද්වත් කමිටුවක් පත් කළා. අපේ පැරණි සිනමා නිර්මාණ අභාවයට යන තත්ත්වයක් තිබුණා. අපි ඒ නිර්මාණ සංරක්ෂණයට සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 50 ක් අයවැයෙන් වෙන් කළා. විදේශ සහයෝගය ද ලබා ගනිමින් එම කාර්යය අපි කඩිනමින් ක්‍රියාත්මක කරනවා. සරසවි චිත්‍රාගාරය ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අපි ඒ සඳහා ද රුපියල් මිලියන 400 ක් වෙන් කර තිබෙනවා. සිනමා ශාලා සංවර්ධනයට මිලියන 30 ක් වෙන් කර තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ සංවර්ධන වෙනුවෙන් අපි වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අද වන විට සිනමා ශාලා අඩු වෙලා තිබෙනවා. ජනමාධ්‍ය ඇමැති සමඟ සාකච්ඡා කරලා අපි සහන ණය ක්‍රමයක් සිනමා ශාලා හිමියන් වෙනුවෙන් හඳුන්වා දෙන්නට කටයුතු යෙදුවා. සිනමා ශාලා නවීන තාක්ෂණයට අනුගත කරන්නට ද කටයුතු කරනවා. යැයි ද කීවේය.
මේ අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු, චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහත්වරු මෙන්ම මාලනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, අයිරාංගනි සේරසිංහ ඇතුළු කලාකරුවෝ රැසක් ද සහභාගී වුහ.


0 Comments