'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු අවසන් කළ නැඟෙනහිර පළාතේ පාසල් 07ක් සිසු අයිතියට පත්කිරීම හා පරිපාලන ගොඩනැගිල්ලක්, තෙමහල් කාන්තා නේවාසිකාගාරයක් සහ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලකට ද මුල්ගල තැබීම අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද 18) සහ හෙට (19) කෙරේ.
ඒ අනුව, ත්‍රිකුණාමලය ශාන්ත මරියා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල හා ගුරු නිවාසය, ත්‍රිකුණාමලය ශිවානි විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානය, ත්‍රිකුණාමලය නාලන්දා මහා විද්‍යාලයේ නව තාක්ෂණ පීඨය අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිසු අයිතියට පත් කෙරේ.
එසේම, මඩකළපුව කොඩඩ්මුනෙයි කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය, කරුවාපන්කේනි විපුලානන්ද විද්‍යාලයේ විද්‍යාගාර ගොඩනැගිල්ල, මඩකළපුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව තෙමහල් කාන්තා නේවාසිකාගාරය සහ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල, මනිපුරම් විග්නේෂ්වර විද්‍යාලයේ නව දෙමහල් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීම, මඩකළපුව ගුරු විද්‍යාලයේ පරිපාලන ඒකකය සහිත නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සහ මඩකළපුව සිවනාථ විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම හෙට (19) සිදුකෙරේ.
ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ නැගෙනහිර පළාතේ පාසල්, ගුරු විද්‍යාල සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ගොඩනැගිලි පහසුකම් ලබාදීම වෙනුවෙන් වෙන් කර ඇති සම්පූර්ණ මුදල රුපියල් මිලියන 8000කි. නැඟෙනහිර පළාතේ මඩකළපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පළාත් පාසල්, ජාතික පාසල්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල මේ යටතේ සංවර්ධනය කර තිබේ. මේ වනවිටත් මෙම පළාතේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති 1129ක් අතුරින් 692ක වැඩකටයුතු අවසන් කොට ඇත. සංවර්ධන කටයුතු වෙනුවෙන් ගතවූ වසර 3 ඇතුළත (2016, 2017,2018) රුපියල් මිලියන 2069ක් නිකුත් කර තිබේ.
ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු දරුවන්ට ලබාදීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව 2016 වසරේ මැයි මස ආරම්භ කළ 'ළඟම පාසල - හොඳ ම පාසල' ජාතික ව්‍යාපෘතිය ආරම්භ විය. මෙම ව්‍යාපෘතියේ කාල සීමාව වසර 4 කි. මේ යටතේ රට පුරා පාසල් 9,345ක සංවර්ධන ව්‍යාපෘති 18,654ක් සිදුකෙරේ.
ඒ අනුව, 2017 දෙසැම්බර් මාසය අවසන් වනවිට රට පුරා පාසල්, ගුරු විද්‍යාල සහ ගුරු විද්‍යාපීඨවල ව්‍යාපෘති 13,082ක් ආරම්භ කර, ඒ අතරින් ව්‍යාපෘති 7,296ක සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් ම අවසන් කොට තිබේ. මෙම ජාතික වැඩසටහන වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ආයෝජනය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් බිලියන 64 ක් වන අතර, එයින් රුපියල් බිලියන 25ක් සංවර්ධන කටයුතු සඳහා මේ වනවිට වැය කර තිබේ.


0 Comments