පනස් වසරකට වඩා අධික කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය, යුද්ධ හමුදා රෝහල සහ ඒ හා සම්බන්ධ වෙනත් අංශ පවත්වාගෙන යනු ලැබූ අක්කර දහයකින් සමන්විත භූමිය පසුගිය කාලයේ දී විදෙස් රටකට හෝටල් සංකිර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි දහස් ගණනකට අලෙවි කිරීමෙන් පසු එම මුදල් සම්බන්ධයෙන් සිදුවී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් එම පරීක්ෂණය පවත්වා එහි බරපතළ මුල්‍ය වංචාවක් සිදුවී ඇති බව අනාවරණය වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් පරීක්ෂණ අංශයකට ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට බාර දෙන බවයි.
දැනට මේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි එම භූමිය රුපියල් කෝටි දහස් ගණනකට විකුණා එම මුදල් රජයේ නීතිය අනුව භාණ්ඩාගාරයේ තැන්පත් කළ යුතු වුවත් ආරක්ෂක අමාත්‍යාංශය නමින් පවත්වාගෙන යන වෙනත් ගිණුමකට දමා වියදම් කර ඇති බවයි.
රජයට අයත් යම් දේපලක් විකුණනු ලැබුවහොත් එම මුදල් වෙනත් කිසිම ගිණුමක තැන්පත් කළ හැකි නොවේ. ඒවා බාර දිය යුතු වන්නේ රජයේ භාණ්ඩාගාරයටයි. ඉන් කරනු ලබන මුදල් භාණ්ඩාගාරය හරහා ලබා ගත යුතු යම් ක්‍රමවේදයක් ඇත. එහෙත් මේ මුදල්වලින් සුළු ප්‍රමාණයක් හෝ භාණ්ඩාගාරය වෙත ලබා දී නොමැති බව ද ඇමැතිවරයා කියයි.
මේ මුදල් තැන්පත් කර තිබූ අමාත්‍යාංශ ගිණුමේ බලය තිබී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් යටතේය. එහි වැය කිරීම්වලට අදාළ වාර්තා පවත්වාගෙන ගොස් ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය මගින්ය.
තව ද මේ වන ත්‍රිවිධ හමුදා මූලස්ථාන සඳහා අකුරේගොඩ ඉදිකෙරෙන අති විශාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මේ වන විට රුපියල් කෝටි පන්දහසකට ආසන්න මුදලක් වියදම් වී ඇතැයි කියයි. මේ ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගෙන ඇත. රුපියල් කෝටි පන්දහසකට ආසන්න මුදලක් එම ඉදිකිරීම් සඳහා මේ වන විට වැය වී ඇතත් හමුදා මූලස්ථානවලින් ඉවත් වූ හමුදා කණ්ඩායම් මේ වන විට සිටින්නේ කුලියට ලබා ගත් ගොඩනැගිලිවලය. එම ගොඩනැගිලි සඳහා මසකට රුපියල් ලක්ෂ සිය ගණනක් වියදම් වෙයි.
මේ ඉදි කිරීම් කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට මීට මාස කිහිපයකට පෙර ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස් ලබා දෙනු ලැබිණි.
මේ අනුව යුද්ධ හමුදා මූලස්ථානය සහ එහි සෙසු අංශ ලබන දෙසැම්බර් මාසය වන විට ස්ථානගත කිරීමටත් ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල ලබන ජනවාරි මස පමණ වන විට එහි ස්ථාපිත කිරීමටත් ආරක්ෂක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.
කොළඹ පිහිටි මේ හමුදා මූලස්ථානය මේ ස්ථානයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට ගෙන යාමත් එම ඓතිහාසික හමුදා මුලස්ථාන වටිනා භුමිය වෙනත් රටකට විකිණීම සම්බන්ධයෙන් එවකට හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වර්තමාන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශාල පිරිසක් විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.


0 Comments