බස්නාහිර පළාතේ සහාය ලසිතට
ලබන මැයි මස 30 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අනාවැකි පළ කරමින් වත්මන් සභාපති අසංග සෙනෙවිරත්න මහතා සහ උපසභාපති ලසිත ගුණරත්න මහතා සභාපතිධුරයට ඉදිරිපත්වී සිටිති. වසර ගණනාවක් පුරා රග්බි ආයතනයේ මුල්පුටුවේ වැජඹුණු සෙනෙවිරත්න මහතා සහ උපසභාපති ගුණරත්න මහතා අතර සටන උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පෙරනිමිති පහළ වූයේ පෙරේදා බස්නාහිර පළාත් රග්බි සංගමය (WPRFU) විසින් මෙවර රග්බි නිලවරණයේදී සභාපති ධුරයට ලසිත ගුණරත්න මහතාගේ නම යෝජනා කිරීමත් සමගිනි.
සාමාන්‍යයෙන් බස්නාහිර පළාත් රග්බි සංගමයේ සහාය හිමිවන පාර්ශ්වය රග්බි ආයතන නිලවරණයේදී ජයගන්නා බැවින් මෙවර ඔවුන්ගේ සහාය ලැබී ඇති ලසිත ගුණරත්න මහතා සභාපතිධුරයට පත්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙතෙක් කාලයක් සෙනෙවිරත්න මහතාට වැඩි සහයක් දැක්වූ බස්නාහිර පළාත් රග්බි සංගමය මෙවර සිය සහාය උපසභාපති ලසිත ගුණරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබේ. පෙරේදා හැව්ලොක් ක්‍රීඩා ශාලාවේ පැවැති බස්නාහිර පළාත් රග්බි සංගමයේ රැස්වීමේදී රග්බි සභාපතිධුරය සඳහා ලසිත ගුණරත්න මහතාට ඡන්ද 16ක් සහ අසංග සෙනෙවිරත්න මහතාට ඡන්ද 8ක් ලැබී ඇතැයි බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් වරුණ ද සිල්වා මහතා දිනමිණට ප්‍රකාශ කළේය.
මෙහිදී අසංග සෙනෙවිරත්න මහතාට සහාය පළවී ඇත්තේ මෙරට පළමුපෙළ ක්‍රීඩා සමාජ අතරින් පොලිස් ක්‍රීඩා සමාජයේ පමණකි. සෙසු ක්‍රීඩා සමාජ සහ හමුදා කණ්ඩායම්වල සහාය ලසිත ගුණරත්න මහතාට හිමිවී තිබේ.
රාජකීය විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම රග්බි නායකයකු වන ලසිත ගුණරත්න මහතා පසුව සී.ආර් ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළ අතර ජාතික කණ්ඩායමේ හිටපු ප්‍රබලතම ක්‍රීඩකයකු වේ. ‘බොන්සා’ යන නාමයෙන් කාගෙත් ගෞරවයට පාත්‍රවූ ලසිත ගුණරත්න මහතා මෙවර රග්බි ආයතනයේ සභාපතිධුරයට පත්වීමෙන් මෙරට රග්බි ක්‍රීඩාව දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සැළකිය යුතු වෙනසක් සිදුවනු ඇතැයි රග්බි ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්වවල අදහස වී තිබේ.


0 Comments