රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයනික භාණ්ඩ මිල යම් ලෙසකින් වැඩිවිය හැකි වුවත්, එයින් දේශීය කර්මාන්තකරුවන්ට විශාලා වාසියක් අත්වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මේ නිසා රුපියල අවප්‍රමාණය වීම ගැන මත පළකරන ආනයනික භාණ්ඩවල මිලවැඩිවීම නමැති නිශ්චිත කාරණයට පමණක් සීමා නොවී සෑම පැත්තක් ගැනම කරුණු සොයා බලා අදහස් දැක්විය යුතු බවද ඒ මහතා පවසයි.
රුපියල අවප්‍රමාණය වීම නිසා අපේ රටේ විදේශ ණය ගෙවීම් විශාල වශයෙන් වැඩිවන බවට හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කර ඇති ප්‍රකාශය අසත්‍ය බවත්, විදේශ ණය ගෙවිය යුත්තේ රුපියල්වලින් නොව ඩොලර්වලින් බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. එසේ ඩොලර්වලින් ණය ගෙවීමට නම් දේශීය කර්මාන්තකරුවාට අවශ්‍ය දිරිගැන්වීම් ලබා දී දේශීය වත්කම් ප්‍රමාණය වැඩිකර ගත යුතු බවත් කී ඒ මහතා වත්මන් රජය සිදුකරන්නේ එම කටයුත්ත බවත් සඳහන් කරයි.
රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවැසුවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී ය.
එහිදී අදහස් දැක්වූ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
මේ දවස්වල අපි දකිනවා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ සමහර දේශපාලනඥයන් රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් නොයෙකුත් වැරැදි ප්‍රකාශ කර තිබෙනවා. ඒ අය මේ රුපියල අවප්‍රමාණය වීම මහා විශාල ප්‍රශ්නයක් ලෙසත්, අපේ රට ලබා ගෙන ඇති ඩොලර් ණය ප්‍රමාණය ඒ හේතුවෙන් විශාල වශයෙන් වැඩිවෙලා තිබෙන බවටත් මේ අය ප්‍රකාශ කර තිබෙනවා. මේ මතය සම්පූර්ණයෙන් වැරදි සහ ආර්ථික විද්‍යානූකූලව බැලුවොත් ඉතාමත්ම බොළඳ කතාවක්. විනිමය අනුපාතය කියන එක ලැබෙන්නේ කොහොමද කියන එක මෙහිදී සලකා බැලිය යුතුයි. ඒ කලේ අපේ තිබුණා ස්ථිරව පවත්වා ගෙන ගිය විනිමය අනුපාතයක්. පසුව වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුමට සාපේක්ෂව ඉහළ පහළ යන විනිමය ක්‍රමවේදය අනුගමනය කළා. 2001 සිට ශ්‍රී ලංකාව මේ ක්‍රමය ක්‍රියාත්මක කළා. ඉන්පසු 2017 මැයි මාසයේ සිට මත්මන් මහබැංකු අධිපතිතුමා තීරණය කළා මේ ක්‍රමය පවත්වා ගෙන යන අතර උද්ධමනය පහළ අගයක පවත්වා ගෙන යාම සඳහා විනිමය අනුපාතය සහ පොලී අනුපාතය පවත්වා ගෙන යන්න.
අපේ රට භාණ්ඩ අපනයනය කරනවා ඒ වගේම භාණ්ඩ ආනයනය කරනවා. අපේ සමහරු කියන්නේ දේශීය ආර්ථිකයක් නිර්මාණය කරන්න ඕනෑ කියලයි. මෙහිදී දේශීය ව්‍යාපාරිකයාට තැන දෙන්න ඕනෑ, දේශීය කර්මාන්තකරුවා නංවන්න කටයුතු කළ යුතුයි. යම් විදිහකින් විනිමය අනුපාතිකය අඩුවෙලා පිටරටින් ගෙන්වන භාණ්ඩවලට ලංකාවේ රුපියල්වලින් ගෙවන්න සිදුවන මුදල යම් කිසි ප්‍රමාණයකින් වැඩිවෙලා තිබෙනවා නම් දේශීය ව්‍යාපාරිකයාට, දේශීය කර්මාන්තකරුවාට අත් වෙන්නේ ලාභයක්. පිටරටින් එන භාණ්ඩවල මිල වැඩිවෙන විට ඒක දේශීය කර්මාන්තකරුවාට තමන්ගේ භාණ්ඩ වෙළෙඳපොළේ විකුණා ගන්න තිබෙන හැකියාව වැඩිවෙනවා.
ඒ නිසා රුපියල අවප්‍රමාණය වීමෙන් දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් සිදුවන්නේ නෑ. එමඟින් ඔවුන්ට වෙළෙඳපොළ අල්ලා ගන්න හැකිවෙනවා. ඒ වගේම අපේ අපනයන ව්‍යාපාරිකයන්ටත් මෙමඟින් වාසි සැලසෙනවා. ඒ නිසා රුපියල අවප්‍රමාණය වීම හොඳයි. මෙතනදී මම කියන්නේ රුපියල අවප්‍රමාණය වීම දෙස එක බොළඳ කෝණයකින් විතරක් නොබලා අනෙකුත් සියලු පැති දෙසත් සැලකිල්ල යොමු කර නිගමනවලට එළඹෙන්න කියලයි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා තිබෙනවා රුපියල අවප්‍රමාණය වීම නිසා අප ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය වැඩිවෙනවා කියලා. ඩොලර් ණය ගෙවන්න රුපියල්වලින් බෑ. ඒකට ඩොලර් සොයා ගත යුතුයි. ඒ සඳහා අප කළ යුත්තේ අපේ අපනයන ප්‍රමාණය වැඩිකර ගැනීමයි. 2011-2012 වසරවලදී අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිව සිටියදී දේශපාලන වුවමනාවන් මත රුපියල අවප්‍රමාණය වීමට ඉඩ නොදී එය බලෙන් එක තැන රඳවා ගන්න උත්සාහ කළා. එවකට පැවති ඩොලර් සංචිතවලින් මිලියන 4200ක් එතුමා පුච්චා දැමුවා එසේ නැතිනම් වෙළෙඳපොළට අතහැරියා. ඒත් 2012 පෙබරවාරි මාසය වෙනකොට ඩොලරයට සාපේක්ෂව රුපියල් 112ට තිබුණ රුපියල රුපියල් 132 දක්වා ඉහළ ගියා. ඒ අනුව මේක තිරසාර විසඳුමක් නොවන බව පැහැදිලියි. නමුත් වත්මන් රජය යටතේ මහබැංකුව සතුව ඩොලර් බිලියන 10කට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙනවා.
අපේ ප්‍රතිපත්තිය වෙන්නේ අපනයන වැඩිකර දේශීය කර්මාන්තකරුවාට අවශ්‍ය දිරිගැන්වීම ලබා දී වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ වත්කම් වැඩිකිරීමයි. රුපියල අවප්‍රමාණය වීම නිසා යම් අයුරකින් පාඩු සිදුවෙන්න පුළුවන්. මම ඒක නෑ කියන්නේ නෑ. ඒ නිසා ආනයනික භාණ්ඩවල මිල වැඩිවීමක් සිදුවෙන්න පුළුවන්. ඒත් රුපියල අවප්‍රමාණය වීම කියන කාරණය අපි සලකා බැලිය යුතු වෙන්නේ මේ කාරණය ගැන පමණක් නෙවෙයි. ඒ නිසා වගකීමෙන් තොර බොළඳ ප්‍රකාශ සිදු නොකර සෑම පැත්තක් ගැනම සලකා බලා ඒ ගැන ප්‍රකාශ සිදුකරන ලෙස මම අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූපය- රොෂාන් පිටිපන


0 Comments