Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව ජීවන ක්‍රමයක් උදෙසා ලෝක බෞද්ධ නායකයෝ එක්වෙති

සොබා දහම හා බැදුණු සහජීවනයෙන් යුත් නව ජීවන ක්‍රමයක් උදෙසා ලෝක බෞද්ධ නායකයන් එකට එක් වන බෞද්ධ සම්මේලනය මැයි 01 සිට 04 දින දක්වා රාජගිරිය සඳහම් සෙවණේදී පැවැත්වේ.

එ බව අනාවරණය වූයේ ඊයේ (26) අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය සඳහම් සෙවණේදී පැවැති මාධ්‍ය හමුවේදීය.

පළමු දිනයේ පස්වරුවේ රාජ්‍ය නායකයන් සහ දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වෙන බවද එම හමුවේදී ප්‍රකාශ විය. 05 දින මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේද 06-07 දිනයන්හිදී අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලි සෑය අබියසද මෙය පැවැත්වේ.

සමුළුව පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අතුරලියේ රතන හිමි-

එළඹෙන වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අප විශේෂ බෞද්ධ සම්මේලනයක් පවත්වනවා. මේ සඳහා චීනය, ජපානය, කොරියාව, මොංගෝලියාව, තායිලන්තය, බුරුමය ඇතුළු ආසියාවේ තවත් රටවල් ගණනාවකින් සහ බටහිර රටවලින් අන්තර්ජාතික පිළිගැනීමක් තිබෙන ස්වාමීන් වහන්සේ , ගිහි බෞද්ධ නායකයන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, උගතුන් මෙයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. බෞද්ධ නියෝජිතයන් දෙසියකට ආසන්න ප්‍රමාණයක් රටවල් විස්සකට අධික ප්‍රමාණයකින් මේ සඳහා සහභාගි වීමට නියමිතයි. ප්‍රසිද්ධ හිමිනමක් වන කුසල සමාධි හිමියන්ද මේ සඳහා සහභාගි වනවා.

මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ වන්නෙ බෞද්ධ ශාඛාවන් අතර සාකච්ඡාවක් පැවැත්වීමයි. ලෝකය තුළ මේ වන විට ඇති වී තිබෙන පාරිසරික අර්බුදය සහ මිනිසාගේ ජීවන ක්‍රමයේ ඇතිවී තිබෙන අර්බුදයන්ට විසැඳුම් සෙවීම මෙහි අරමුණයි. රටවල් 64ක මේ වන විට යුද්ධ පවතිනවා. අතිවිශාල ලෝක ජනතාවක් බඩගින්නෙ සිටිනවා. සිය දිවි නසා ගැනීම් ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි ගැටලු වලට විසදුම් සෙවීම සඳහා බුදුදහම නව ජීවන ක්‍රමයක් ලෙස ලෝකයට ගෙන යාම අපේ බලාපොරොත්තුවයි. මෙහිදී වජ්‍රයාන, මහායාන, ථේරවාද උගතුන් සමඟ සාකච්ඡා කරනවා. පොදු අනන්‍යතා මොනවාද කියා සොයා බලනවා.

බෞද්ධ දහම් ගුරුවරුන් ලංකාවට පැමිණීම සහ අධ්‍යාත්මික සහ ධ්‍යාන බලයෙන්, භාවනාවෙන් උසස් ගුරුවරුන් රාශියක් සම්මේලනය සඳහා සහභාගි වීම විශේෂයි. මොවුන්ගේ සහභාගිත්වය අපේ රටට විශාල ගෞරවයටද හේතු වෙනවා. මේ සියලු දෙනා සමඟ ලෝකය සුවපත් කිරීම පිළිබඳව , පාරම්පරික වෙඳකම පිළිබඳව අප කතා කරනවා. එය ලෝකයට ගෙන යන්නෙ කෙසේද කියා සොයා බලනවා.

සතුන් නොමරණ වස විසෙන් තොර ධාර්මික ගොවිතැන් ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කරනවා. පරිසර දූෂණ ඛනිජ තෙල් වෙනුවට සූර්ය බලය, මුහුදු රළ, සුළඟ යොදා ගැනීම පිළිබඳව සොයා බලනවා. පරිසර හිතකාමී බලශක්ති උපක්‍රම භාවිතා කිරීම පිළිබඳව ලෝකයට බලපෑම් කළ යුතු ආකාරයන් පිළිබඳව සාකච්ඡා කරනවා. සංගීතයෙන්, සටන් කලාවෙන්, නාට්‍යයෙන් යහපත් මිනිසුන් නිර්මාණය කිරීම පිළිබඳව සොයා බලනවා.

පළමු දින ථේරවාදී සම්ප්‍රදායද, දෙවන දින චීන බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳවද, තෙවන දින ටිබෙට් නේපාල බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳවද, හතරවන දින සියලු දෙනාම එක්වී සාකච්ඡා කළ දේ ක්‍රියාවට නංවන්නේ කෙසේද කියා සාකච්ඡා කරනවා. එසේම මෙම දියන්හිදී දේශන, භාවනා වැඩ සටහන් සහ ධර්ම මණ්ඩප පැවැත්වෙනවා. ඒ වගේම සාකච්ඡා වූ කරුණු සපල කර ගැනීම සඳහා අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නැගීමට අප බලාපොරොත්තු වෙනවා.

පාහියන්ගල ආනන්ද සාගර හිමි-

මෙවැනි බෞද්ධ සම්මේලන පිළිබඳව රජය වැඩි අවධානය යොමු කළ යුතුයි. නිවැරදි ඉලක්කයන්ට ගමන් කිරීම ඉතා වැදගත්. මෙම සමුළුවෙන් විශේෂ කථිකාවතක් ඇතිවෙයි අප බලාපොරොත්තු වනවා. ලෝකය නිවැරදි මාවතේ ගෙන යාමයි අපගේ උත්සාහය. මේක ජත්‍යන්තර සමුළුවක් මෙන්ම ලෝකය සුවපත් කිරීම උදෙසා පවත්වන බව කිව යුතුයි. දුෂ්කරතා ඇති විහාරස්ථාන පිළිබඳව සාකච්ඡා කරනවා.

චීන සෙසම් යූනියන් ආයතනයේ ශ්‍රී ලාංකික නියෝජිත මංජුල ප්‍රදීප් රණවක මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, සෑම වර්ෂයකම මෙම බෞද්ධ සම්මන්ත්‍රණය පැවැත්වීමටද අප බලාපොරොත්තු වන බවයි.

උපාලි කරුණාරත්න සහ චන්දිමා කරුණාරත්න
ඡයාරූපය- හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();