වෙසක් දන්සල් 2126 ක් මේ වන විට රට පුරා ප්‍රදේශවලින් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ලියාපදිංචි වී ඇති වෙසක් දන්සල් පරීක්ෂාවට රට පුරා මහජන පරීක්ෂකවරුන් 2500ක් යොදවා ඇති බවත් දන්සල් පවත්වන්නන්ට ඒ සම්බන්ධයෙන් මඟ පෙන්වීම ඇතුළු දැනුවත් කිරීම් අද (27) සහ හෙට (28) දිනයන්හි සිදු කරන බව සංගමයේ ලේකම් බී.එම්.එම්. බාලසූරිය මහතා පැවැසුවේය. බිංගිරිය දේවගිරි පුරාණ රජමහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 20ක් එහි අධීක්ෂණ කටයුතුවලට යොදවා ඇති බවත් පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු, කැළිකසළ කලමනාකරණය යනාදිය සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරුන් ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
දන්සල් පරීක්ෂා කිරීම 29, 30 දෙදිනයන්හි සිදු කරන්නේ යැයි ද, මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් වළකින ලෙස දන්සල් පවත්වන සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද හෙතෙම කීය. අප්‍රේල් මස 23 වැනිදා සිට මැයි මස 04 වැනිදා දක්වා කාලයේ දී දන්සල් සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද ඒ මහතා පැවැසීය.
විශේෂයෙන්ම සිසිල් බීම දන්සල් ලබාදෙන්නේ නම් ශරීර සෞඛ්‍යයට හිතකර පාන වර්ග ලබා දිය යුතු බවත් දේශීයව හැදෙන දොඩම්, දෙහි, පැෂන් වැනි බීම වර්ග ලබාදීමට හැකි නම් වඩාත් යහපත් බවත් ඔහු පැවැසුවේය.
මිනිස් සිරුරට අහිතකර වර්ණකයන්, අධික සීනි භාවිතයෙන් තොරව සිසිල් පැන් දන්සල් ලබා දිය යුතු බවත් එසේ නොවුණහොත් සැදැහැවත් අරමුණු දන්සල් පැවැත්වීමෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.


0 Comments