මැයි 13 දා විශේෂ මහා සභා රැස්වීමක්
ලබන මස 19 වැනිදා පැවැත්විමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නීතිපති උපදෙස් මත අවලංගු කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා උපදෙස් ලබාදීමෙන් පසුව එම නිලවරණය ලබන ජූනි මස අගභාගයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නැවත නිලවරණය පවත්වන තුරු වත්මන් නිලධාරී මණ්ඩලය අන්තර් කාලීන කමිටුවක් ලෙස නම් කිරීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දැමිමට සිදුවී තිබිණි.
කෙසේවෙතත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන ජූනි මස අග භාගයේදී පැවැත්වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව ලබන මැයි මස 13 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වීමටත්, එහිදී නව නිලවරණ කමිටුවක් පත් කිරීමටත් ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යාංශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අවලංගු කිරීමට දැනුම්දී ඇත්තේ ඒ සඳහා පත් කර තිබූ නිලවරණ කමිටුව විධායක සභාවේ අනුමැතියකින් තොරව පත් කර ඇතැයි අනාවරණය වීමෙන් පසුවය.
මේ සම්බන්ධව අමාත්‍යාංශයට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන ලදුව ඒ සඳහා නිලවරණ කමිටුවක් පත් කළ යුත්තේ විශේෂ මහ සභා රැස්වීමකදී බවත්, ඊට පරිබාහිරව කටයුතු කරමින් නිලවරණය කමිටුවක් පත් කිරීම නීතිවිරෝධී බවත් නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මේ පියවර ගෙන තිබිණි.


0 Comments