ශාසන කීර්ති සද්ධර්ම වාගීශ්වර ධර්මප්‍රභා ධීරානන්දාභිධාන කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක, කම්මට්ඨාන විශාරද, ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විචිත්‍රවත් බෞද්ධ කලාව බෞද්ධ ජනතාවගේ මතකයෙන් කිසිදා ඈත් නොවනු ඇත.
සමාධි ප්‍රතිමාව වැනි නිර්මාණය කළ නිර්මාණකරුවන්ගේ ගමන් මඟින් ඔබ්බට ගොස් නවතම බෞද්ධ නිර්මාණ කලාවක් දැයට දායාද කළ සිද්ධාරංසි නාහිමි අනුරාධපුර පූජනීය පෙදෙස ආලෝකවත් කරමින් අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරය, නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය වැනි පුදබිම ඉදිකොට ඉන් නොනැවතී කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය ද තනවා නිම කොට ළඟදීම බෞද්ධ ජනතාවගේ අයිතියට පැවරීමට මුලපුරා ඇත.
සසුන් කෙත් අස්වැද්දීම වෙනුවෙන් මහා පුදබිම් ත්‍රිත්වයක් නිර්මාණය කළ උන් වහන්සේ කොක්කිච්චිය ප්‍රදේශයේ අක්කර 10ක පමණ වනගත භූමි භාගය එළිපෙහෙළි කර මේ පුදබිම නිර්මාණය කිරීමට වැඩි කලක් ගත වූයේ නැත. නෙල්ලිකුලම පින්බිමේ සිට සැතපුමක් පමණ තන්තිරිමලේ දෙසට යන විට මාර්ගයේ වම් පසින් ශාන්ත පරිසරයකින් යුත් සුන්දර වන ලැහැබක් දිස් වෙයි. තුරුහිස් මතින් රූ රා හැලෙන ලියවැලින් ශෝභිත මේ අක්කර 10ක් පමණ සුවිශාල වූ බිම්කඩ අභ්‍යන්තරයට ප්‍රවේශ වන විට සතර අත විහිදී ගිය අඩි පාරවල් හමු වෙයි. මේ අඩි පාරවල් දිගේ ඉදිරියට යන විට බුදු සිරිතේ ප්‍රාතිහාර්යාත්මක අවස්ථා රැසක් වන වදුලේ නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.
පන්සල, වෙහෙර, බුදු පිළිම මේ ආදී ශාසනික නිර්මාණ මෙතෙක් බිහි වී ඇත්තේ පන්සල් බිමකය. නොඑසේ නම් එළිපෙහෙළි කොට මනාව සැකසූ සුදු වැලි අතුල භූමියකය. එහෙත් මේ මහා කැලෑව මැද තැනින් තැන නිර්මාණය වූ පාරිසරික අසිරිය අතරින් විදහාපාන පෙළහර කුමක්ද. මේ වන ලැහැබේ බුද්ධාලම්බන ප්‍රීතිය වඩා වර්ධනය කරනු සඳහා නිර්මාණය කර ඇති බුදු පෙළහර විශ්මිත නිර්මාණයකි.
මේ අතරම ප්‍රාතිහාර්ය විහාර පුදබිමේ විශේෂයෙන් දිස්වෙන්නේ දහසක් බුද්ධ ප්‍රතිමා සහිත දෙමහල් විහාර මන්දිරයයි. මෙහි නිර්මාණ කටයුතු ද දැන් බොහෝ දුරට නිමාවට පත්ව ඇත. නාහිමියන්ගේ එකම බලාපොරොත්තුව මේ වසරේ මෙහි කටයුතු ද නිම කොට බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට පත් කිරීමය.
මෙවර වෙසක් පොහොය සමයේ අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් දැක බලා වන්දනාමාන කර ගත යුතු තවත් පුදබිමක් වන්නේ අනුරාධපුර තන්තිරිමලේ මාර්ගයේ නෙල්ලිකුලම නම් වූ වනගත රමණීය භූමි භාගයේ ඉදි කර ඇති සිරිසම්බුද්ධ පංචසතිය ශ්‍රාවක චාරිකාරාමයයි. බුදුන් වහන්සේ 500ක් මහරහතුන් වහන්සේලා සඳහම් චාරිකාවේ නිරත වන අයුරු මෙහි මූර්තිමත් කර තිබේ. මෙය ද අප සද්ධාරංසි නාහිමිගේ සංකල්පයක් මත නිම වූවකි.
අපේ පාරම්පරික පන්සල ද පංවර්ග සෙවිලි කළ ශාලාවක් වූ බවත්, පසු කාලීනව වෙහෙර විහාර දාගැබ මෙන්ම පිළිම ගෙවල් ද බිහි වූ බවත් බෞද්ධ ශිෂ්ටාචාරයේ මුල් යුගය හදාරන්නකුට මැනවින් පෙනී යයි.
පරිසරය නසා වනසා අහස උසට මහා දාගැබ්, සුවිශාල බුද්ධ මන්දිර ඉදිවනවාට වඩා ස්වාභාවික පරිසරයට අනුකූලව එම පරිසරයේම පරිසර හිතකාමී බෞද්ධ නිර්මාණ නිමවීමට අපේ පරිසරවේදියාණන් වන අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමි සිහින දුටහ. ඒ ඔස්සේ සම්මා සම්බුදු රජුන්ගේ තෙවන වර ලක්දිව වැඩම කිරීම ජීවමාන වූ අතර එයින් මහරහතුන් වහන්සේලා පන්සියයක් සමඟ ගිරිහිසින් බැස පිඬු සිඟා වඩින දර්ශනයක් දුටු උන් වහන්සේ පාරම්පරික පන්සල් නිමවුම් රටාවෙන් ඔබ්බට ගොස් නිර්මාණාත්මක පින්බිමක් ස්ථාපිත කිරීමේ මහා මෙහෙවරට ප්‍රවේශ වූහ. එහි ප්‍රතිඵලයකි, නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංච සතික ශ්‍රාවක චාරිකාරාමය.
මේ පුදබිම වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පානීය ජල පහසුකම්, වැසිකිළි කැසිකිළි පහසුකම් මෙන්ම රථවාහන නොමිලේ ගාල් කිරීම්‍ට රථගාල් ද තනවා තිබීම විශේෂත්වයකි. දානමානාදිය පිළියෙළ කරගැනීමට ශාලා පහසුකම් ද සලසා ඇත. වන්දනාකරුවන්ට මේ පින්බිම දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතී.
අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වැඳ පුදා ගත යුතු තවත් සුවිශේෂී වූ විහාරස්ථානයක් වන්නේ බුදු සසුනෙහි සිව්වනක් පිරිස නිර්මාණය වූ අනුරාධපුර අසූ මහා ශ්‍රාවක සම්බුද්ධ විහාරයයි. අපේ සද්ධාරංසි නාහිමිගේ ප්‍රථම ශාසනික මෙහෙවර ද, සම්ප්‍රදායික බෞද්ධ නිර්මාණ කලාවෙන් ඔබ්බට ගිය නිර්මාණය වන්නේ ද මේ විහාරස්ථානයයි.
බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදු සසුනේ පැවැත්මට මහා මෙහෙවරක් කළ භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකාවන්ගේ ජීවමාන රූප මෙහි ඉතා අලංකාරවත් අයුරින් නෙළා ඇත. අටවිසි බෝධීන් වෘක්ෂ ද විහාරය වටා රෝපණය කර තිබීම විශේෂත්වයකි. මේ විහාරස්ථානය ද සැදැහැවතුන් වෙනුවෙන් දිවා රාත්‍රී දෙකෙහිම විවෘතව පවතී.

අනුරාධපුර නැඟෙනහිර සමූහ සේනපුර ඩී. නිශ්ශංක


0 Comments