Ticker

6/recent/ticker-posts

Header Ads Widget

​​​​​​කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ ආදිවාසී අලුත් අවුරුදු මංගල්‍යය

‘දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ යැයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විසින් ප්‍රකාශ කර සිටි අතර, එතුමන් පැවැසූ දේ සිංහලයට පරිවර්තනය කළ විට ‘අද උදේ සිට සවස් වන තුරු දඹාන කොට බකිණිය ගම්මානයේ ආදිවාසී අලුත් අවුරුදු මංගල්‍යය පැවැත්වේ’ යැයි කියවේ.

දඹාන ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනයෙන් විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයාගේ අනුග්‍රහයෙන් හා ප්‍රධානත්වයෙන් ආදිවාසී අලුත් අවුරුදු උත්සවය සංවිධානය කර තිබුණේ ඔවුන්ගේ වරිගයට ආවේණික වූ අංග රාශියක් ද එක් කරමිනි.

උදෑසන ආදිවාසී අලුත් අවුරුදු මංගල්‍ය සඳහා ඇමැතිවරයා ස්කයිප් තාක්ෂණයෙන් ආදිවාසී නායක සමඟ සම්බන්ධ වෙමින් සුබ පැතුම් එක්කර සිටියේය.

ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානය වෙත කිලෝ වොට් 02ක සූර්ය කෝෂ පද්ධතියක් ස්ථාපනය කර විවෘත කිරීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

බක් මහේ සුවඳ නිමා වන්නට දින කිහිපයක් තිබුණ ද ආදිවාසීන්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔවුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වූ ආකාරයෙන් සංවිධානය කර තිබීමයි. එම තරගවලින් කිහිපයක් ආදිවාසී හොඳම රැවුල තේරීම‍, කිරි කොරස් නැටීම, දුනු ඊතල විදීම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තේරීම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසී ජන ගායනා, ආදිවාසී නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හූව තේරීම, වී ඇට ඇහිදීම (දෙපටුල්ලන් ඇහිලීම), ටික් මැරීම, ලීයෙන් පොල්ගෑම, කිරිදි ඇට ඇමිනීම ඇතුළු තරග රාශියක් මේ ආදිවාසී අලුත් අවුරුදු මංගල්‍යයට ඇතුළත් කර තිබුණි.

දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු මංගල්‍ය පෙරේදා (25) දඹාන ගුරුකුඹුර කොටබකිණිය ආදිවාසී ගම්මානයේ දී පැවැත් වූ අතර, ආදිවාසී ගම්මානයේ ආදිවාසී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානය අසල දී සංවිධානය කර තිබුණි.

මාපාකඩවැව සමූහ - එච්. එම්. රංජිත් කරුණාවීර
ඡායාරූප - සුසන්ත
විජේගුණසේකර සහ රංජිත් කරුණාවීර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();