රාජකීය තුරඟ සමාජය වසන්ත සමයේ පවත්වන තුරඟ තරගමාලාවේ ප්‍රධානතම අදියරක්වූ ආණ්ඩුකාර කුසලාන (Governors Cup) තරගය හෙට (28) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වසර 1926දී පමණ ආරම්භ වූ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) වෙනුවෙන් පවත්වන තරගයට මෙවරත් වැඩි අවධානයක් යොමුව ඇති අතර දෙස් විදෙස් නරඹන්නන් විශාල පිරිසක් මේ තරගය වෙනුවෙන්ම නුවරඑළිය ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි රාජකීය තුරඟ සමාජය විශ්වාසය පළ කරයි.
ආණ්ඩුකාර කුසලානය මෙන්ම රැජන කුසලානය (Queens Cup) වෙනුවෙන් පවත්වන තරගය ද විශාල තරගකාරීත්වයක් ඇති ආකර්ශනීය එකක් වේ. අමෙරිකා එක්සත් ජනපදය තුළ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හා ඔස්ට්‍රේලියාවේ තුරඟ තරගවල ප්‍රධාන කුසලාන සේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) හා රැජන කුසලානය (Queens Cup) ප්‍රසිද්ධියක් උසුලන හෙයින් මේ තරගවල ජයග්‍රහාකයන් පිළිබඳ අවධානය වැඩි වශයෙන් යොමුවේ.
නුවරඑලිය තුරඟ තරග පවත්වන ක්‍රීඩාංගණය තුළ පෙරට වඩා පහසුකම් රාශියක් නිර්මාණය කිරීමට රාජකීය තුරඟ සමාජය පියවර ගෙන ඇති අතර, තරගයට පෙර තුරඟයන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව සිදු කිරීමට ඉන්දීය ජාතික විශේෂඥ වෙවද්‍යවරු පිරිසක් කටයුතු කිරීමෙන් තුරඟ තරගවල විශ්වාසය වැඩි කිරීමට තරග සංවිධාන කරන රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා ඇත.
ආණ්ඩුකාර කුසලානය (Governors Cup) සඳහා වූ තරගයට දැන් සිටින අංක එකේ තුරඟයන් තරග වදින අතර රැජන කුසලානය (Queens Cup) සඳහා ද එවැනිම ජවයකින් යුතු තුරඟයන්ට දොරටු විවරවී තිබුණි.
පසුගිය වසරේදී හසංග ජයරත්න මහතාට අයත් ‘මෙහෙරාන්’ තුරඟයාට දීප්තිකා මෙනවියගේ ‘අල්කසාබා’ සියුම් ලෙස පරාජයවීම ආන්දොලනාත්මක සිදුවීමක් විය. මෙවරද එම අසුන් දෙදෙනා තරග බිමට පිවිසීම තරගයේ උණුසුම වැඩි කරන්නකි.
එමෙන්ම ‘සෙලෙස්ටියර් ෆයර්’, ‘ඔනර්ස්’, ‘එයාර් බෝන්’, ‘සිල්වර් ස්ට්‍රීක්’, ‘චාර්ලිමැග්නී’, ‘කිංග්ස්ටන් ටවුන්’,‘සැන්ටොස්’, ‘බ්‍රිලියන්ට් කට්’ යන අශ්වයන් හෙට පැවැත්වෙන තරගවලට අවතීර්ණ වේ.
පසුගිය වසරේදී පැවැති තුරඟ තරග 89කදී රුපියල් මිලියන 25.1ක මුදලක් ජයග්‍රාහකයන්ට පිරිනැමුණු අතර මෙවර ද රන් ආලේපිත ආණ්ඩුකාර කුසලානය හා රැජන කුසලානය සමග ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට නුවරඑළිය රාජකීය තුරඟ සමාජය කටයුතු කොට ඇත.
තුරඟ තරග පැවැත්වෙන අතරතුරදී මියුරු සංගීතය හා ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ශ්‍රවණය කිරීමට අවස්ථාව උදාවන අතර සංගීතය සමග මුසුවූ නර්තනය ද අලංකාර විලාසිතා දැක්මක් ද පැවැත්වේ.


0 Comments